නුඹෙන් දිස් වූයේ මූල හැරදමා ගිය වීජීය ශ්‍රිතයක හැඩකි. නමුත් නුඹ සතුව මූල තිබිණි. මට එය දැනුණි. මා නුඹට සමීප වූයේ එනිසා දෝ යි මම නොදනිමි.


මූල නැති වුවත් නුඹ සෑම විටම හතර වටේ ඇති අගයන් නුඹට ආදේශ කරගන්නට දැඟළුවෙහිය. මා හේතුව විමසූ විට විට නුඹ “ඒ මගේ ශ්‍රිත හැඩය. මට ඒ ගැන කරන්න දෙයක් නෑ” කීවෙහිය.

නුඹේ බොහෝ උපරිම, අවම වීම් හමුවේ සුමට වක්‍රයක් පවත්වාගැනීමට මම උදවු වීමි. මා ඒවා ‘කළ යුතු දෑ’ ලෙස සළකා ඉටුකළේ අහවල් විවේචකයකට දැයි මම තවම නොදනිමි. මෙච්චර කල් හෙව්වෙමි. තවත් නොසොයමි.

මම කිසි දිනෙක නුඹව අවකලනය නොකළෙමි. නිදහස් විටෙකදී ගොම්පාට් ආදේශ යොදමින් අනුකලනය කළෙමි. ඒ සෑම විටෙකම නුඹ වෙත මා සතු වූ ඇල්ම අඩු නම් නොවීය.

මා මිතුරෝ නුඹට දොස් නැගූහ. මම පෙරළා උන්ට දොස් නැගීමි. එනිසා නුඹ මට දොස් නැගුවෙහිය. නුඹේ ජීවන ශ්‍රිතය ගැන වදවී මගේ පැවැත්ම අතාත්වික කර නොගන්නැයි නුඹ කීවෙහිය. නුඹේ කරුමෙකටද මගේ කරුමෙකටද මන්දා මට එදා එය නොවැටහුණි.

කලක් ගතවිය.

අළු යට පැලවෙමින්, නුඹේ අවමයකට මාන බලමින් උන් මූලයක් හදිසියේම නුඹව තෘප්ත කරගත්තේය.
නුඹව ශුන්‍යය කරා එළැඹෙමින් තිබිණ. තවත් කල් මැරීමට කාලයක් නොවීය.

මම මාගේ හදගැස්ම 1.61803399න් ගුණකර චිත්තක්ෂණ වාර 101ක කාලයකදී නුඹේ ආදේශ කළෙමි.

අහා! නුඹව තෘප්ත විය!

අදටත් මා අත්දුටු ඉතා සතුටුදායකම සහ දුක්ඛදායකම මොහොත එය විය.

ඒ වනවිට යටකී මූලය කාලයේ විෂයෙන් අනුකලනය වී තිබුණි. ඌ මගේ අගය යටපත් කර මාව අපරිමේය කළේය. නුඹද ඌටම තෘප්ත වූයෙහිය.

මම තුෂ්ණීම්භූත වීමි. මා තුළ වූ විශ්වාසය ඝාතීයව අඩු විය. මම මන්දනය වීමි.

කලක් ගතවිය.

සියල්ල අවසන් වී ඇත. පෙර කී මූලය අහෝසි වී ඇත. නුඹේ ශ්‍රිතය නුඹම වෙනස්කරගෙන ඇති සෙයකි. නුඹේ නව සමීකරණය තෘප්ත කිරීමට මා දරන සෑම තැතක්ම ශුන්‍යය අවකලනය කරන්නාක් මෙනි.
මගේ අගය නුඹේ ලෙජරයේ අවිනිශ්චිත ගිණුමේ පහළට ගෙනගිය ශේෂයන් තොගයට එකතුවී ඇති සෙයකි.

නුඹ දැන් මාපාංක ශ්‍රිතයක්වත් වීද? නැත. විය නොහැක. නමුත්, නුඹේ මාත්‍රය කිසිසේත් 1 නම් නොවන බව මට දැන් වැටහේ. නුඹ දැනුදු හැසිරෙන්නේ මූල හැරදමා ගිය ශ්‍රිතයක් විලසිනි…

නුඹ ඛණ්ඩාංක තලයේ කැරකෙන ද්විමාන සංඛ්‍යා වලට ආතල් දෙනු මම අදද, දැනුදු, මෙය ලියන මොහොතේද දකිමි.

කම් නැත.

මම ආගන්ඩ් තලයේ සිත්සේ වසමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )