ලියන රාලගේ ලියමනින් උපුටාගතිමි. තරමක් පැරණි ලිපියක් වුවද ගතයුතු යමක් ඇතැයි සිතමි.

(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න)

‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත.
පිරිමීනු ද පතන – අවසර, කල්, රහස් තැන
මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන
රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.

බුදුදහමට අනුව රකින සීලය සහ රැකෙන සීලය කියන්නේ දෙකක්ය. බුදුහාමුදුරුවන් සිල් රකින්න කීවා මිස රැකෙන්න ඉඩ දී බලා ඉන්න කීවේ නැත. ඔය බණ කියන බෝ පැල වගේ ඉන්න පිරිමි බෙහෝමයක් තුන් වැනි සිල් පදය රකිනවා නොව, රැකෙනවා ය. ඒ ඔවුන්ට අවස්ථාවක් නැති නිසාය. උවමනාවක් තිබිලා කාගෙන් හරි ගිහිං ඇහුවොතින් ‘නංගි මට උඹත් එක්ක බුදියන්න ඕනේ’ කියා එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද ආත්ම ධෛර්යයක් ද ගැහැනියට ඇත. ගැහැනියක් ඕකම අනෙක් අතට ඇහුවොත්, ‘අනේ නංගි මං බැඳල නේ, මං කැමැති නැහැ ඕවාට’ කියා කියන පිරිමියෙකු සොයා ගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරුය. ඒ වුණත් පිරිමි අදටත් වල්කමේ නොයන උපාසක පිරිසක් ලෙස සම්මතය, තීන්දුය.

තවත් අතකින් මේ වරදේ බැඳීම යනු ගැහැනියට ආවේණික සංකල්පයක් යැයි පොදු ජන විඥානයට කාවැද්දීම ගැහැනිය ඒ තැනට ඇද දාන පිටිබලයක් ද වෙයි. කවුරුහරි ගැහැනියක් කාත් එක්ක හෝ රමණයේ යෙදිලා ‘මං මොකටද මේ ගැන වොරි වෙන්නේ, මං විතරක් නෙවේ නේ, ලෝකේ හැම ගැහැනියක්ම හොර මිනිස්සු එක්ක අනියම් සම්බන්ධයක් තියා ගන්නවානේ’ කියා හිත හදා ගන්නට මේ සංකල්පය ඇයට රුකුලක් සපයයි.

අපි කොච්චර ශිෂ්ට සම්පන්නව ඉදිරියට එන්න හැදුවත් පරම්පරා ගානක් ගිහිල්ලත් ගැහැනියගේ ස්වභාවයට වෙනස් විදිහක දැක්මක් දෙන්න අපට තාමත් බැරි වෙලා ඇත. අද කොහෙද සීතලා ඉන්නේ, අද කොහෙද පත්තිනි අම්මලා ඉන්නේ කියා අහන තැනට සැම දෙනගේ මානසිකත්වය ඇද වැටී ඇත. අදටත් කොල්ලන්ට ආදරය කරන්න මනුස්සකම් වලින් පිරුණු ආදරය උතුරා ගලන ගැහැනියක් අවශ්‍ය නැත. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් අහන්නේ ‘උඹට කෑල්ලක් නැද්ද?’, ‘තාම උඹට බඩුවක් සෙට් වුණේ නැද්ද?’ කියාය. උන්ට ඕනේ රමණයේ යෙදෙන්න කෑල්ලක් හෝ බඩුවක් මිසක ආදරය කරන්න කෙල්ලක් නොවේය.

නමුත් මේ සේරම කතන්දර එන්නේ ගැහැනියටය. රටේ ලෝකේ දකින දකින ගැහැනිය වෙසඟනක් කියා සිතන ගමන්ම ‘අපේ අම්මා පට්ට වෙසඟනක් වෙන්න ඇති නේ ද?’, ‘අපේ අම්ම පිරිමි කී දෙනෙක් එක්ක රමණයේ යෙදෙන්න ඇත්ද දන්නේ නැහැ නේද?’ කියා ප්‍රශ්න කරන්න පෙළඹෙන අය සොයා ගත නොහැකිය. එයට හේතුව සිංහල-බෞද්ධ යැයි කියන සමාජය තුළ ගැහැනිය සහ අම්මා යනු දෙදෙනෙකු වීමය. ඔවුන්ට අනුව අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක් නොවේය. ගැහැනිය යනු හුදෙක් බඩුවක්ය, ඇයගේ යෝනියේ දිග පළල බලනවා මිස වෙන වැදගත්කමක් නැත. අම්මා යනු කිරි අම්මාය. දානයට වැඩම කොට ආශිර්වාද ලබා ගත්තොත් අපල කෝටියක් නිවාරණය.

බුදුහාමුදුරුවන් කොතැනකවත් අම්මාට විශේෂ වැදගත්කමක් දුන්නේ නැත. උන්වහන්සේ කතා කළේ අම්මා සහ තාත්තා යන දෙන්නාම ගැනය. මව්පිය භූමිකාවේ ඇති සමාජවිද්‍යාත්මක වැදගත්කම ගැනය. නමුත් සිංහල-බෞද්ධ අර්ථකථනය තුළ ‘අම්මා බුදුවේවා’ මිස ‘තාත්තා බුදුවේවා’ කියා යෙදුමක් නැත. අම්මාව හැකි ඉහළම තලයට ඔසවා තබා ඒ ඔස්සේ ‘අපි කාන්තාවට සුවිශේෂි තැනක් උරුම කර දෙන සමාජයක් යැ’යි කීමට සිංහල-බෞද්ධයා පෙළඹී ඇත. (කරුණාකර මුස්ලිම් ගැටලුව මෙතනට අදාළ කර ගන්න එපා. අරාබි සංස්කෘතියේ උන් තරම් අපි තිරිසන්නු නොවෙතත්, අපේ සමාජයේ අඩුපාඩු අපි විචාරයට ලක් කළ යුතුමය. හින්දු සංස්කෘතිය ගැන කිව යුත්තේත් එයමය‍.)

බුදුදහම ගැහැනියව පහත් තලයකට ඇද දමනවා ද යන්න වෙනම කතා කළ යුතු කාරණයකි. නමුත් එකක් ගැන නම් කිය යුතුමය. ගැහැනියක් වෙලා උපදින්නේ පෙර කළ පවකටය. පිරිමියෙක් වීම පිනක්ය කියන ගොන් පාට් එක ගැනය. බුදුහාමුදුරුවන්ට අනුව ගැහැනිය ස්වභාවයෙන් දරන්නේ වේදනාවන් දෙකක් පමණි. එකක් ඔසප් වේදනාවය, අනෙක ප්‍රසව වේදනාවය. මේ දෙකට අමතරව ඇය යම් වේදනාවක් විදී නම් එය සමාජය විසින් ඇයට උරුම කර දුන් වේදනාවකි. ඉදින් කාට හරි අහන්න පුළුවන් මේ වේදනා දෙක විදින්න වෙලා තියෙන්නේ පවක් කළ නිසා නෙවේ ද කියා. නමුත් එය බීජ නියාමය මිස කර්ම නියාමය නොවේය. එනම් ගැහැනියක් වීම තනිකරම ජෛවීය වශයෙන් සිදු වන අහඹුවක් මිස කර්මය නෙවේය. මෙලොව ඇති සියල්ල පෙර කළ කර්මයක් යැයි කීම නියත මිථ්‍යා දෘෂ්ටියකි. ඒ වගේම ජෛන මතයකි. කර්මය යනු නියාම ධර්ම පහෙන් එකක් මිසක වැදගත්ම හෝ ප්‍රබලම එක නෙවේය. ඇත්තටම ගැහැනියක් වීම පෙර කළ පවක ප්‍රතිපලයක් කීම ජෛන ඉගැන්වීමක් මිස බෞද්ධ ඉගැන්වීමක් නොවේය. ජාතකපාළියට එය ගෙන ඇත්තේ ද ජෛන දහමිනි. මුල්බුදුසමය එවැන්නක් නොදක්වයි. අනෙක් අතට ඔසප් වීම සහ ප්‍රසව වේදනාව යනු සමස්ත මානව වර්ගයා පවත්වාගෙන යාමට ඇයට ලැබුණ සුවිශේෂි වර දානයය. එය පවක ප්‍රතිඵලයක් කියා අර්ථකථනය කිරීම මා අනුමත කරන්නේ නැත. මහබෝසතාණන් බිහි වූයේ ගැහැනියකගේ කුසිනි. බෝසත් මව වී ඉපදීමට ඇය පින් කළා මිස පවක් කළ බව සඳහන් වන්නේ නැත. තවද මහාප්‍රජාපතීගෝතමී දේවිය පිරිනිවන් පාන්නට යන තැන බුදුරජාණන්වහන්සේ පසු පසින් වැඩම කළහ. උන්වහන්සේ මෙලොව උපන් කිසිම පුද්ගලයෙකුට පිටිපසින් ගමන් කළේ නැත. එබැවින් මෙය උන්වහන්සේ වෙනත් මිනිසෙකුට දැක්වූ ඉහළහ ගෞරවයය. එය දැක්වූයේ ගැහැනියකටය. එහෙම කළේ ඇය මවක් වූ නිසාය. ගැහැනියක් මවක් වීමට නම් ඇය ඔසප් වේදනාව හා ප්‍රසව වේදනාව දැරිය යුතු වේ. එය ඇයගේ පවක් නොව මුළුමහත් මිනිස් සංහතියේ පවකි.

ඇඳුම් ගැනත් යමක් කිව යුතුය. ගැහැනිය යනු හැම විටම සංස්කෘතික ගොදුරක් (cultural victim) බවට පත් කිරීම අප සමාජයේ පුරුද්දක්ය. කොල්ලෙක්ට ශාරුක් වගේ, අමීර්වගේ ඇඳගෙන යන්න අවසර ඇත. නමුත් කෙල්ලකට කරීනා වගේ, කත්රිනා වගේ ඇඳගෙන යන්නට අවසර නැත. බුදුහාමුදුරුවන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ‘ගේ තෙමෙනවා නම් වහළය හෙවිල්ල ගන්න’ කියාය. ආර්යදේව හාමුදුරුවන් කියා සිටියේ වැලි පෑගෙනවා නම් පොළවට හම එලන්නේ නැතිව, පයට සෙරප්පු දා ගන්න කියාය. කෙල්ලකගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය. නමුත් අද කෙල්ලන්ට ඇඳුම් අන්දවන්නේ එය බෞද්ධ-සදාචාරය බව හුවා දක්වමිනි. මේ අය බුදුහාමුදුරුවන්ට වඩා සදාචාර සම්පන්න වීම එයට හේතුවය. තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත. එවැනි ඇඳුමක් ඇඳන් පන්සල් යන්න ඕනේ නැහැ, නිකම් ගමනක් බිමනක් යන්නවත් අපේ කෙල්ලකුට අවසර නැත. ඇදන් ගියොත් අහලපහල හැම පිරිමියාම ඇගේ දෙස බලන්නේ වෙසඟනක දෙස බලන අයුරිනි. ඇයව ඇහෙන් බලා දූෂණය කරමිනි.

කන්‍යාභාවය ගැනත් කතා කළ යුතුමය. අපි නූතනයි, පශ්චාත්-නූතනයි කියා හිතා හිටියට තවමත් අපේ කොල්ලො බහුතරයක් හිතන්නේ කෙල්ලකගේ තියෙන වටිනා දේ ඇයගේ යෝනිය කියාය. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය සහ අභියෝගය තමන් තෝරා ගන්නා කෙල්ලගේ යෝනිය රැක ගැනීමය. අවස්ථාවක් ලැබුණොත් සීයක් සමග හෝ රමණයේ යෙදෙන්න කැමති වූ කොල්ලා බඳින කෙල්ල කන්‍යාවක් විය යුතුයි සිතන්නේ මේ නිසාය. කන්‍යාභාවය තියෙන කෙනෙක් පතිවත රැක ගෙන ඉඳියි කියන මෝඩ විශ්වාසය මේකට ඇති හේතුවය. ඇත්තටම පිට යන ගෑනු බොහොමයක් පිට යන්නේ බැන්දාට පසුවය. මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති බව ඇය දන්න නිසාය. කෙල්ලකගේ යෝනිය ගැන වොරි වෙන්නේ නැතිව, ඇයගේ ආදරයට ආදරය කරන්න පුළුවන්නම්, ඇයගේ හදවත නිවැරදිව තේරුම් ගන්න පුළුවන්නම් ඇය පතිවත රකිනවා කියන එක වළක්වන්න මේ සක්වලේ කාටවත් බැරිය.

මේකටම සම්බන්ධ නිසා ස්වයං වින්දනය ගැනත් යමක් කිව යුතුය. මේ ලෝකයේ කොතැනක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති පිරිමියෙක් ඉන්න බව මට සනාථ කර පෙන්නුවොත් මං මේ සයිබර් අවකාශයේ ලියන එක එදාම නවත්තනවාමය. නමුත් ඒ ප්‍රශ්නයම ගැහැනු වෙත යොමු කළොත් ඕනෑ තරම් ගැහැනු සිටිනවාය. එයට එකම හේතුව කන්‍යාභාවය සහ ස්ත්‍රී ලිංගිකත්වය ගැන ඇයට දී ඇති වැරදි අධ්‍යාපනයය. ස්වයං වින්දනය මොනම හේතුවක් නිසාවත් අයහපත් ප්‍රතිපල ගෙන දෙන්නේ නැත. නිතර නිතර එහි යෙදීම නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි බෝනොවන රෝග ගණනාවකින් වැළකී සිටීමට එය උපකාරයක් වනු ඇත. පොදුවේ මිනිසාට ලැබෙන මෙම වරදානය ගැහැනියට අහිමි වී ගොස් ඇත. යම් කෙල්ලක් වැඩිවියට පත් වූ පසු ස්වයං වින්දනයේ යෙදෙනවා නම්, (තේරෙන විදිහට කියනවා නම් ඇඟිලි ගහන්න පුරුදු වෙලා නම් ඉන්නේ) ඇයට එයින් ලැබෙන වාසි විශාල සංඛ්‍යාවකි. ඇයගේ පෞරුෂය සහ ආත්ම අභිමානය ඉහළ යාම එයින් වැදගත්ම කාරණයකි. සම පැහැපත් වීම, අනවශ්‍ය තරබාරු ගතිය ඉවත් වීම, කෙට්ටු සිරුරක් නම් තියෙන්නේ මහත් වීම වැනි කරුණුත් ඒ අතර තියෙනවා. කන්‍යාභාවයට හානි වෙයි කියා බයෙන් බොහෝ කෙල්ලෝ එයින් වළකිනවා. නමුත් ක්ලිටෝරිසය ඉදිරියට පැමිණ ඇති නිසා කන්‍යාභාවය විනාශ කර නොගෙන වුණත් ස්වයං වින්දනයේ යෙදෙන්න පුළුවන්. ඒ බව කියා දෙන්න ගැහැනුන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය තියෙන තැන ඒකයි.

ගැහැනිය යනු සෙක්ස් අයිටම් එකක් ද කියන ප්‍රශ්නයටත් පිළිතුරක් දිය යුතුය. පිරිමියෙකුගේ සහ ගැහැනියකගේ ලිංගික හැකියාව වෙනස්ය. පිරිමියෙක් දෙතුන් වතාවක් එක පිට ශුක්‍ර පිට කළ හොත් නැවත සතුටු වීමට තරමක් අපහසුය. නමුත් ගැහැනියට අවශ්‍ය නම් දහ දොළොස් වතාවක් වුවත් එක දිගට සතුටු විය හැක. පිරිමියෙකුගේ උත්තේජනය බොහෝවිට ලිංගය කේන්ද්‍ර කර ගෙන ඇති වෙයි. ගැහැනියට එය යෝනිය සහ පියයුරු කේන්ද්‍ර කර ගෙන ඇති වුණත් සමස්තයක් වශයෙන් ඇයගේ මුළු සිරුරම එයට ප්‍රතිචාර දක්වයි. කොටින්ම ගැහැනියකගේ කන්‍යාභාවයට කිසිදු හානියක් නොකොට ඇයව උපරිම සතුටට පත් කරන්නට හැකියි. මෙන්න මේ වගේ කරුණු කීපයක් පාදක කර ගෙන ගැහැනිය සෙක්ස් අයිටම් එකක් මිස ඊට වඩා වැඩි දෙයක් නැහැ කියා හිතනවා නම් එය විහිළුවකි. සමස්තයක් වශයෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය මානසිකය. ශාරීරික ම නොවේ. යම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ලිංගය හිමීට අතගානවා නම් එයින් අත මිදෙන්න තරම් ආත්ම ශක්තියක් පිරිමියෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් ගැහැනියගේ පියයුරු හෝ යෝනිය අනවසරයෙන් අත ගාන්න ගියොත් එය ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව අනෙක් අතට කන හරහා දෙකක් දෙන්නට ද ගැහැනියට හැකිය. ඇත්ත එයය.

ගැහැනියට ලිංගික ඇබ්බැහි වීම් තියනවා යැයි කීම මෙයට ම අදාළ තවත් විහිළුවකි. ලිංගික ඇබ්බැහි වීම යන මානසික රෝගය ගැහැනු පිරිමි ඕනෑම අයෙකුට වැළඳිය හැකි තත්වයකි. නැතිව ගැහැනියට පමණක් ආවේණික තත්වයක් නොවේ. එවැනි ඇබ්බැහි වීම් තිබුණත් පිරිමියෙකුට වඩා ලේසියෙන් ගැහැනියකට එයින් අත මිදිය හැක. අතීතයේ ගණිකාවන් ලෙස ක්‍රියා කොට පසුව සාමාන්‍ය ජීවිත ගත කරන ගැහැනුන් මට හමු වී ඇත. එපමණක් නොව අතීතයේ සමලිංගික සේවනයේ යෙදී සිට පසුව එයින් ඉවත් වී යහපත් පවුල් ජීවිත ගත කරන ගැහැනුන් ද මා දැක තිබේ. ඒ කිසිකෙනෙකුට අතීතය තුළ තමා මෙහෙම නේද කියා හිත හිත නැවත ඒ තත්වයට එන්නට අවශ්‍ය වී නැත. ඒ නිසා ලිංගික ඇබ්බැහි වීමක් යම් තැනැක ඇද්ද එය කිසියම් මානසික ප්‍රශ්නයක් මිස ගැහැනියක් වීම නිසා උරුම වන තත්වයක් නොවන බව කිව යුතුමය.

පිරිමියා සහ ගැහැනිය කියන්නේ ජෛවවිද්‍යාත්මකව වෙනම සත්වයන් දෙදෙනෙකි. ජෛවීය වශයෙන් ඔවුන් අතර ඇති වෙනස්කම් අපට ප්‍රතික්ෂේප කළ නොහැක. නමුත් ස්ත්‍රීවාදය කියන්නේ මේ දෙක එකක් කිරීමට දරන වෑයමක් කියා කවුරුහරි හිතා සිටිනවා නම් එය අපරාදයකි. ගැහැනියට පමණක් ආවේණික ප්‍රශ්න කොහෙද තියෙන්නේ කියා අහන්නේ ගැහැනියගේ තත්වය නිවැරදිව තේරුම් ගන්න බැරි අය පමණයි. ගැහැනිය යනු තවත් එක් ‘මිනිසෙක්’ කියා සමාජයට ඒත්තු ගැන්වීමට දරන සුහද වෑයමක් ලෙසයි මා ස්ත්‍රීවාදය දකින්නේ. ස්ත්‍රීවාදය තුළ තවදුරටත් මිනිසාගේ විද්‍යාත්මක අනුභූතිය අභියෝගයට ලක් කරයි. අතීතයේ සිට පොත්පත් ලිව්වේ දර්ශන මතවාද හැදුවේ පිරිමි අය. මේ නිසා ඒ සෑම විටම ඒ අය ගැහැනියව අවතක්සේරුවෙන් සැලකූ බව පැහැදිලිව පෙනේ. ඒ පමණක් නොව ගැහැනිය යනු තමාගේ විනෝදය පිණිස භාවිත කළ හැති භාණ්ඩ බවට පත් කිරීමට මෙම පිරිමි දාර්ශනිකයන් වෙර දරා ඇති බව ලෝක ඉතිහාසයෙන් පෙනේ. ස්ත්‍රීවාදය මේ සියල්ලට හොද ප්‍රතිචාරයකි. එය දර්ශනයකි. මේ නිසා යම් කෙල්ලක් ක්‍රියාකාරී ලෙස ස්ත්‍රීවාදීව කටයුතු කරයි නම් ඇය ගැන අප අයහපත් ලෙස බැලිය යුතු නැත. නමුත් දැනට වෙන්නේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් නියැෙලන ගැහැනු දෙස බලන්නේ ‘ඔය එක පිරිමියෙක් එක්ක ඉන්න බැරිවට කරන දේවල්’ එහෙම නැත්නම් ‘ඔය ගැහැනියක් එක්ක පවුල් කන්න ඕනේ වෙලයි ඔහොම දගලන්නේ කියා’ ය. මේ මෝඩ සංකල්ප අප වහාම නැති කළ යුතුවේ. (සැලකිය යුතුයි. ලංකාවේ ස්ත්‍රීවාදීන් කෙතෙක් දුරට ස්ත්‍රීවාදය හදාරා ඇත්දැයි මා නොදනිමි)

අවසාන වශයෙන් මෙය කිව යුතුය. හිටි හැටියේ මෙහෙම ලිපියක් ලිව්වේ ගැහැනිය ගැන තියෙන දුර්මත කීපයක් හෝ ඉවත් කිරීමටය. ගැහැනිය යනු රමණය කරන්නම උපන් කෙනෙක් ය ඊට වඩා යමක් එතන නැතැයි කියන්න උත්සාහ කරන්නේ පුරුෂාධිපත්‍යයට ආවඩන සාහිත්‍යකාරයන් සහ ඔලමොට්ටල තක තීරුවන්ය. ඒවා බොරුවට ඔළුවට අරන් තමන්ගේ පවුල් ජීවිත අවුල් කර ගන්න එපාය. ගැහැනියක් සහෝදරියක් ලෙස යෙහෙළියක් ලෙස බිරිඳක් ලෙස මවක් ලෙස ඉටු කරන කාර්යයත් කාර්යාලයක හෝ වෙනත් ආයතනයක් වෘත්තීයවේදියක් ලෙස ඉටු කරන කාර්යයත් අපට කිසිසේත් අවතක්සේරුවෙන් සැලකිය නොහැක. ඇයට ආදරය කරන්න, ඇයව රැක ගන්න. ගැහැනියක් බුදු කෙනෙක් බවට පත් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඇයව බඩුවක් කෑල්ලක් ගාණට දාන්නත් එපා. ඒ වචන පවා භාවිතයෙන් අහක් කර ගන්න. ගැහැනිය යනු ඇට ලේ මස් වලින් හැදුණු ගැහෙන හදවතක් තියෙන දැනෙන මොළයක් තියෙන මිනිසෙකි. ඇයව මනුෂ්‍යයෙක් වශයෙන් තේරුම් ගන්න. ඇයට මිනිසෙකුට සලකන විදිහට සලකන්න. ඇය දරුවො හදන මැෂිමක්වත් ඇඳ උඩ නිදි කරවා ගන්න සෙල්ලම් භාණ්ඩයක්වත් නොවන බව තරයේ තේරුම් ගන්න.

Advertisements

ගැහැනිය – කෑල්ලක්, බඩුවක් සහ මවක් (16+)” මත සිතිවිලි 3ක්

  1. “ඇඳුම් ගැනත් යමක් කිව යුතුය. ගැහැනිය යනු හැම විටම සංස්කෘතික ගොදුරක් (cultural victim) බවට පත් කිරීම අප සමාජයේ පුරුද්දක්ය. කොල්ලෙක්ට ශාරුක් වගේ, අමීර්වගේ ඇඳගෙන යන්න අවසර ඇත. නමුත් කෙල්ලකට කරීනා වගේ, කත්රිනා වගේ ඇඳගෙන යන්නට අවසර නැත. බුදුහාමුදුරුවන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ‘ගේ තෙමෙනවා නම් වහළය හෙවිල්ල ගන්න’ කියාය. ආර්යදේව හාමුදුරුවන් කියා සිටියේ වැලි පෑගෙනවා නම් පොළවට හම එලන්නේ නැතිව, පයට සෙරප්පු දා ගන්න කියාය. කෙල්ලකගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය. නමුත් අද කෙල්ලන්ට ඇඳුම් අන්දවන්නේ එය බෞද්ධ-සදාචාරය බව හුවා දක්වමිනි. මේ අය බුදුහාමුදුරුවන්ට වඩා සදාචාර සම්පන්න වීම එයට හේතුවය. තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත. එවැනි ඇඳුමක් ඇඳන් පන්සල් යන්න ඕනේ නැහැ, නිකම් ගමනක් බිමනක් යන්නවත් අපේ කෙල්ලකුට අවසර නැත. ඇදන් ගියොත් අහලපහල හැම පිරිමියාම ඇගේ දෙස බලන්නේ වෙසඟනක දෙස බලන අයුරිනි. ඇයව ඇහෙන් බලා දූෂණය කරමිනි.”

    සමස්තයක් ලෙස ලිපිය ඉතාමත් වැදගත් කාලෝචිත බවකින් යුක්ත ය. නමුත් ඉහත උපුටා ගත් කොටසේ නම් සංශෝධනය විය යුතු කරුණු පවතී. ඒ පිළිබඳ මාගේ අදහස මෙසේ ය.
    පොදුවේ කොල්ලන් ගැන සැලකු විට ලස්සනට ඇඳපැළඳීම යනු තම අඩ නිරුවත බාහිරයට පෙන්වීම යැයි කියා සිතන මට්ටමට තවමත් කොල්ලන් වැටී නොමැත. (පිරිමි ශරීර ලබා උපන් ගැහැණුන් හැරෙන්නට). ඉන්දියාවේ ශාරුක්ටත්, අමීර්ටත් ඒ කරුණ එසේම ය. නමුත් ඉන්දියාවේ කරීනත්, කත්රිනාත් මෙන් ම ලංකාවේ කෙල්ලන් ද නම් ඒ මට්ටමට වැටී ඇත. (ලෝකයේත් එසේම ය. නමුත් අපිට ලංකාව ප්‍රමාණවත් නේ?) කාන්තාව මේ මානසික මට්ටමට ඇඳ දැමීමට වගකිව යුත්තේ ඇය විසින් ම ද නැතහොත් ඔබ පෙර කියූ අයුරින් අතීතයේ සිට ම පොත්පත් ලියූ දර්ශන මතවාද සැදු පිරිමි අය කියා එක එල්ලයේ ම පැවසීමට මා හට එකවර ම නොහැකිය. ඉඳින් එ නිසා මට හැඟෙන අයුරින් ඔබට මෙන් කාන්තාවන් අඩ නිර්වස්ත්‍රව ඇඳුම් ඇඳීම මාහට නම් සාධාරණීකරණය කල නොහැක. මන්දයත් එහි තිබෙන්නේ ගැහැණුන් විසින් දරන ලස්සන පිළිබඳ මිත්‍යාවිශ්වාසයක් බැවිනි.

    “කෙල්ලකගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය”

    ඉහත ඔබ විසින් පවසනා දෙයහි සත්‍යයක් නැත්තා ද නොවේ නොව පැහැදිලිව ම සත්‍යයක් පවතී. කෙල්ලකගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම බව මෙන් ම තම නිරුවත වැසෙන සේ ඇඳුම් ඇඳීම ගැහැනියගේ පැත්තෙන් ද සිදුවිය යුතු බව මම පවසමි. එවිට කිසිවෙකුත් කිසිවෙකුටවත් ඇඳුම් ඇන්දවීමට යාම අවශ්‍ය නොවේ. නැතහොත් අපහට සංකල්පනා කිරීමට සිදුවන්නේ කාන්තාවන් නිරුවතින් හැසිරෙන පිරිමින් බවුන් වඩන අනාගත සමාජයකි. තව ද මාගේ අදහස නම් පිරිමින් ලවා තමා දෙස බඩුවක් දෙස බලන අයුරින් බලවා ගැනීමට අවශ්‍ය ගැහැණුන්මයි තමන්ගේ එම අදහසින් ම අඩනිරුවත් ඇඳුමින් ගමන් කරන්නේ. එලෙස අවශ්‍ය නොවන කාන්තාව සදාචාර සම්පන්න ලෙස ඇඳුම් අඳිති.

    “තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත”

    මෙහිදී සිදුවී ඇත්තේ සමාජ සංස්කෘතිය අනුව ආගම වෙනස් කර ගෙන තිබීමකි. ඊටත් වඩා වෙනස් දෙයක් මේ පිලිබඳ පැවසීමට නැත.

    සමස්තයක් ලෙස ගත් කල ලාංකික ගැහැණිය වෙනස් විය යුතුව පවතිනමුත් එය අපගේ සංස්කෘතික රාමුව තුල සදාචාර සම්පන්න ලෙස සභ්‍යත්වය රැකෙන අයුරින් සිදුවිය යුත්තකි. විශේෂයෙන් ම ලංකික ගැහැණිය සමාජයට පැමිණීමට පවතින බිය නැතිවිය යුතුයි!

    තව දෙයක්….. මගේ අදහසට අනුව නම් සමාජය සාරධර්මවලට කුමක් වුවත් කාන්තාවන් අඩ නිරුවත් ලෙස ඇඳුම් ඇඳීම සාධාරණීකරණය කිරීමට උත්සාහ දරන්නේ එවැනි කාන්තාවන් නිතර නිතර ම දැකීමට සහ ඇසුරට කැමති පිරිමින් බවයි!

    කැමතියි

    1. ප්‍රතිචාරයකට නැවතුණාට තුති.
      මෙම ලිපිය මගේ පුද්ගලික නිර්මාණයක් නොවන බැවින් මෙහි තර්ක වෙනුවෙන් පෙනීසිටීමට මා නොබැඳුණත්, රචකයාගේ දැනුම් පරාසය පුද්ගලිකව දන්නා බැවින් සහ මගේ ඔළුවට ලැබෙන ප්‍රතිචාර වලට පිළිතුරු බැඳීම මා සතු වගකීමක් බැවින්, ලියමි.

      \\ඔබට මෙන් කාන්තාවන් අඩ නිර්වස්ත්‍රව ඇඳුම් ඇඳීම මාහට නම් සාධාරණීකරණය කල නොහැක. මන්දයත් එහි තිබෙන්නේ ගැහැණුන් විසින් දරන ලස්සන පිළිබඳ මිත්‍යාවිශ්වාසයක් බැවිනි.//
      මෙහි සිදුකර ඇත්තේ අඩ නිර්වස්ත්‍රව ඇඳුම් ඇඳීම සාධාරණීකරණයක් ද? නැත්නම් තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය මෑත්කර බලා, අනුන්ගේ ඇහේ තියෙන පොල්කෙන්ද කෙලින් කරන්න යන අයව නිරුවත් කිරීමක් ද? මට මෙය පෙනුණේ දෙවෙනි ආකාරයෙනි. අඩනිරුවත් ඇඳුම් සාධාරණීකරණය නොකළෙමි; නොකරමි. නමුත් තමන් ළඟ වැරදි ඇතිව, සමාජය හදන්නට යාම විහිළුවකි.
      ගැහැණුන් ළඟ ලස්සන පිළිබඳව ඇති මිත්‍යා විශ්වාස ගැන මම නොදනිමි. එහෙත් නිරුවතට මෙන්ම අඩනිරුවතට ද මිලක් ඇති බව ඔවුන් දන්නා වග නම් දනිමි. එය සමාජ වුවමනාවක් වන තැනටම පද්ධතිය වණවී ඇත.

      \\නැතහොත් අපහට සංකල්පනා කිරීමට සිදුවන්නේ කාන්තාවන් නිරුවතින් හැසිරෙන පිරිමින් බවුන් වඩන අනාගත සමාජයකි.//
      ඉල්ලුම නැති තැන සැපයුම කුමට ද?

      \\තව ද මාගේ අදහස නම් පිරිමින් ලවා තමා දෙස බඩුවක් දෙස බලන අයුරින් බලවා ගැනීමට අවශ්‍ය ගැහැණුන්මයි තමන්ගේ එම අදහසින් ම අඩනිරුවත් ඇඳුමින් ගමන් කරන්නේ.//
      එකඟයි.

      \\මෙහිදී සිදුවී ඇත්තේ සමාජ සංස්කෘතිය අනුව ආගම වෙනස් කර ගෙන තිබීමකි.//
      කෙල්ලන් නොව කොල්ලන් ද කොට කලිසම පන්සලට නොඅඳිනවා නම් මම පුද්ගලිකව කැමැත්තෙමි. මෙම ලිපිය Reblog කළ පමණින් එහි ඇති සියලු කරුණු සමඟ එකඟ වියයුතු නැත.

      \\ලංකික ගැහැණිය සමාජයට පැමිණීමට පවතින බිය නැතිවිය යුතුයි!//
      එවන් ගැහැණුන්ට (හෝ කෙල්ලන්ට) වදින කාඩ්, මට වඩා හොඳින් ඔබ දනියි.

      දෙපැත්තේම වැරදි ඇත. රචකයාගේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ (මා දුටු ලෙස) තමන් ළඟ ඇති වැරදි සඟවා අනුන්ට ඇඳුම් අන්දවන්න යාම කුහකකමක් බව ඒත්තු ගැන්වීමය.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )