මම වැටෙමි. මිලියනයකුත් එකක් වූ මා වැන්නන් සමඟ, වැටෙමි.

මම ගෝලාකාර වෙමි. ප්‍රවේගය තත්පරයට සෙ.මී. 50ක් පමණ වේ.

බිඳිත්තෙන් බිඳිත්තට පැන මෙම ස්වරූපය තනාගැනීමට විඳි දුක මට තවමත් මතක බැවින්දෝ, වලාකුළු බීජායනයෙන් බිහිවී ක්‍ෂණිකව, සැපට වැටෙන්නන් කෙරෙහි මා තුල සාධාරණ ඊර්ෂ්‍යාවක් මතුවේ. එය කුහකකමක් නොවේ යැයි මම නොකියමි. එහෙත් අපට උන්ට මෙන් ඝනීභවන න්‍යෂ්ටි ලැබුණා ද? උන් අද සැපට වැටෙන්නේ උන්ගේ හැකියාවකින් ද? උන්ගේ පැවැත්ම ප්‍රශ්න කිරීම වැරැද්දක් ද?

එක්කෝ කමක් නැත. උන්ගේ අරමුණ අපව පරයා වැටීමට නොව කෙසේ හෝ වැටීමට වන තාක්කල් අපට වන අසාධාරණයක් නැත. අනෙක් අතට, රසායනය උන්ට පිහිට වූයේ අපගේ අවාසනාවකට නොව උන්ගේ වාසනාවකටය. වැටෙන්නේ එකම පොළවට නම් වැටෙන මොහොතට කුමට කුමන්ත්‍රණ ද?

ගුරුත්වය හමුවේ වැඩිවන, වාත ප්‍රතිරෝධය සහ දුස්ස්‍රාවී බල හමුවේ අඩුවන මාගේ ප්‍රවේගය තත්පරයට මී. 8ක් පමණ වී ඇත. යටින් වැඩිවන වාත පීඩනය හමුවේ, පෘෂ්ඨික ආතතියවත් නොතිබුණේ නම් මෙලහකටත් මා ද්විඛන්ඩණය වී හමාරය.

ක්‍ෂණිකව SO2 දැලකින් මාව ආවරණය විය. එහි SO2 ට අමතරව NO ද විය. මා තුල උදාසීනව සිටි ඔක්සිකාරක වලට මෙය රජ මඟුලකි. ආම්ලික වායු ජලයේ දියවීමට දෙවරක් නොසිතයි. මේ දෙපාර්ශවය මුණගස්වා මා කරන්නේ වැරැද්දක් ද? මා කිසිදා අම්ල වැසි ඇතිවීමට අනුබල දුන්නේ නැත; සිදුකළේ අදාළ ක්‍රියාවලියට බාධා නොකිරීම පමණි.

මගේ ගෝලාකාර හැඩය දැන් කෙමෙන් කෙමෙන් බෝංචි ඇටයක් හැඩයට පත්වී ඇත. තව සුළු මොහොතකින් ආන්ත ප්‍රවේගය උදාවනු ඇත. සියලු ඓහලෞකික ත්වරණයන් නැතිවී යනු ඇත.

ලඟින් ලඟින් පිහිටා ඇති වහළයන් නිසා මේ කොළඹ අවට ප්‍රදේශයක් විය යුතුය. ගතවන ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා මාගේ දර්ශන පථය වේගයෙන්, පටු සහ විස්තරාත්මක වෙයි.

*තක්* වැටුණි. රිදුණි.

එහෙත් මද වලවල්වල නෝන්ඩි වීමට, මැච් ගහන කොල්ලන්ට කරදරයක් වීමට, මල ගෙවල්- බණ ගෙවල් මඩ කිරීමට නොගොස් ගෙදරක වහළයක් මත මගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී වැටෙන්නට සිදුවීම ගැන මට අවංකවම සතුටුය.

වසර 20ක් පමණ පැරණි ඇස්බැස්ටෝස් ශීට් එකක් මත මම පහළට රූටා යමි. මෙය වසර ගණනාවකින් අලුත් කර නැති සෙයකි. අහා! අතරමැද සිදුරක්! ඇතුළට යන්න අවස්ථාවක්! දෙවරක් නොසිතා ඇතුල්වෙමි. කම්මැලි චාරිකාවක් අවසානයේ සිත්ගන්නා ගමනාන්තයක්වත් තිබුණොත් මදෑ.

*ත්ක්* නැවත වැටුණි.

සුමට කොළයකි. කොල්ලෙක් එය මත, කම්මුලට අත තබාගෙන කිසිම උනන්දුවකින් තොරව කුමක්දෝ ලියයි. මා දුටු විගස ඔහු ඇස දෙක ලොකු කර, ලිවීම නවතා මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියි. එය සුදුමැලි මුහුණකි. වයස අවුරුදු 20ක් පමණය. මුහුණ මැද ලප 2ක් ඇත.

මේ අවසන් මොහොතයි. මාගේ දර්ශන පථය ක්‍රමයෙන් බොඳ වෙයි. කොලුවා තවමත් ඇස් උඩ ඉන්දවාගෙන මදෙස බලා සිටී. “ඇයි? මීට කලින් වැහිබිංදු දැකලා නැද්ද?”යැයි ඇසීමට පණක් මට නැත. කොලුවා වහලය දෙස ද, මා දෙස ද මාරුවෙන් මාරුවට විමතියෙන් බලයි. මුට මක් වෙලාද මන්දා!

ඔන්නොහේ උගේ කොළය මත පැතිරෙමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )