තාත්තා

ඊයේ අපි දස දෙනෙකුගේ කණ්ඩායමක් සිරිපා කරුණා කළෙමු. ඒ ගැන පසුව ලියමි. අද උදේ නැගිටින විට මුළු ඇඟම හිරිවැටී තිබුණි. කරන්නට කිසිවක් ද නොවීය. මිලදී ගත් දිනයේ පටන් රාක්කයේ සිරකොට තැබූ සන්නස්ගල ගේ ‘අම්මා’ අතට ගතිමි. අතට ගත් මොහොතේ පටන්ම මගේ ඔළුවේ කැරකුණේ එකම පැනයකි: “මෙච්චර කල් මේක කියවන්නැතුව අහවල් මඟුලක් කළා ද?”

පළමු පරිච්ඡේද 2 කියවූ මට ඉන් ඉදිරියට යා නොහැකි විය. මම පොත වසා මෙම කොළය අතට ගතිමි. මන්ද, සන්නා කළ වරද මට කළ නොහැකි බැවිණි.

මෙය කිසිදු දැනුමක් අඩංගු නොවන දිගු ඔපාදූපයක් වනු ඇත. කාර්යබහුල ඇත්තෝ නොකියවත්වා!

තාත්තා පිළිබඳ මගේ පැරණිම මතකය යම් තරමකින් දුබලය. මගේ වයස මාස කිහිපයක් වන්නට ඇත. කුමක් හෝ හේතුවකට මට බැණවැදීම නිසා මම හැඬීමි. පසුව තාත්තාම දෙකකුල් අතර මා හොවා නළවන්නට අසාර්ථක උත්සාහයක යෙදුණේ ය. එම මතකය සිහිවන සෑම වාරයකම ඔළුවට එන්නේ එකම වැකියකි: “බැණලා බැණලා, එනව මෙතන නළවන්න. මං නවත්තයි අඬන එක!”. ඒ මට එදා සිතුණු හැටි ද, නැත්නම් තවත් එක් මනෝ විකාරයක් ද යන්න මම නොදනිමි. ඒ දෙකෙන් කුමක් වූවද (රෝමාන්තික ආදරය නම් බොළඳ බොරුව මට පිටුපෑ දිනයේ සිට) මම මතකයන් ප්‍රශ්න කිරීමට නොයන නිසා ගැටලුවක් ඇති වූයේ නැත.

දරුවන් අටදෙනෙකු සිටි පවුලේ වැඩිමල් පිරිමි දරුවා මගේ තාත්තා ය. ඔහුගේ ගම බෙලිගල්ල විතාරන්දෙණිය ය. (හිටපු ජනපතිගේ බොහෝ රස-තැන් මා දැනගත්තේ මේ නිසාය.) සීයාට ඔහුගේ පවුල පිළිබඳව කිසිදු ‘කැක්කුමක්’ තිබී නැත. ඔහු; වහින දින වලට ගෙදර තැනින් තැන තෙමෙද්දී, දරුවන් බඩගින්නේම අම්මාට තුරුළු වී නිදද්දී, තංගල්ල ‘Bay’ හෝටලයෙන් කා, ගෙදර විත්, මේසය යට ගුලි වී නිදාගත් පියෙකි. මගේ තාත්තාට පාසල් ගමන අතර මග නතර කරන්නට සිදුවී ඇත්තේ ඔහුගේ පවුලට තාත්තා කෙනෙක් වුවමනා වූ බැවිණි. මම තාත්තාව සුද්ද කරන්නට නොයමි; නමුත් තාත්තාට මගේ වයසේදී තිබුණු අත්දැකීම් වලින් දහයෙන් පංගුවක් වත් මට තවම නැත. ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්‍රමය එතරම්ම ඉස්තරම් ය.

නැන්දලා බඩගින්නට හඬද්දී, තාත්තා වාඩියේ ඉඩමකට පැන, බතල අල/ කොළ හොරකම් කරගෙනවිත් ඔවුන්ට තම්බා දී ඇත. කතරගම පෙරහැර සමයේ ඔහු පාර අයිනේ බූන්දි විකුණා ඇත. වයසක ආච්චිලා පූජා වට්ටි අතින් ගෙන බලාපොරොත්තු හිසින් ගෙන, දේවාලයේ පෝලිමේ සිටිද්දී, දෙවියන්ට මිනිසුන්ව පූජා කරන කපුවා ලෙස රඟපා ඇත (කපුවන් කියන පල් හෑලි ඔහුට තවමත් කටපාඩම් ය). ගැරිජ් වල මජං සූරා ඇත. මුඩුක්කුවක ජීවත් වී ඇත. ඒ මගේ තාත්තා ය. නම කියූ සැණින් දන්නා නළුවන් සමඟ කරට අත දා ගත් ඡායාරූප ඇත. තරු පහේ හොටෙල් වලින් දිවා කෑම රසවිඳ ඇත. ‘ජාතික රූපවාහිනී’ ස්ටිකරය ඇලවූ ‘OB බස් රථය’ වසර 10කට ආසන්න කාලයක් පදවා ඇත. කිසිදු පිටස්තරයෙකුට පය තැබීමට අවසර නැති ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට එක් වරක් ගොස් ඇත. ඒ ද මගේ තාත්තා ය.

කොපමණ අගහිඟකම් තිබුණ ද මගේ අධ්‍යාපන වියදම් එක සතයක් අඩු නොකර තාත්තා ගෙව්වේය. මා හැකිතරම් ඒ වියදම් අඩු කරන්නට උත්සාහ කළේ ද එනිසාම ය. “මේ එක රුපියලක්වත් බල්ලො මරල හොයපු සල්ලි නෙවෙයි. සාධාරණව මහන්සියෙන් හම්බකරපු සල්ලි. ඒ නිසා බය නැතුව වියදං කරන්න. මොකෝ තියං හිටියා කියල වැඩිවෙනවයැ!” ඒ තාත්තාගේ වචන ය. මුදල් වලින් කෙසේ වෙතත් ඔහු හදවතින් කිසිදා දුප්පතෙකු නොවීය.

ඔහු කුඩා දරුවන්ට දක්වන්නේ අසීමිත ආදරයකි. මා තවදුරටත් ‘කුඩා’ දරුවෙකු නොවන නිසාදෝ ඔහු මා සමඟ සිනාසෙන අවස්ථා දුලබ ය. වයස 60කට වැඩි නිසාදෝ ඔහුගේ හැඟීම් වචන වලට පෙරළෙන අවස්ථා ඊටත් දුලබය. මගේ උසස් පෙළ ප්‍රතිඵල අසා තත්පර දහයක් පමණ යනතුරු ඔහු සිනා මුහුණින් මා දෙස බලාගත්වනම සිටියේය; එදා දවසම ඔහු කළේ සිය යහළුවන්ට මගේ ප්‍රතිඵල කීම ය.

පොත් දහයක් සතියකින් ලියා අවසන් කිරීමට තරම් අත්දැකීම් ගොන්නක් තාත්තාට ඇත. එහෙත් පැහැදිලිව ඔහුගේ චරිතය ගැන එක් ලිපියක් වත් ලිවීමට තරම් අත්දැකීම් මට තවම නැත. අනෙක් අතට පොත් ලිවීමට තරම් ව්‍යාකරණ දැනුමක් තාත්තාට නැත. හිතට එන ඕන කුණුහරුපයක් ලියන්නට බ්ලොග් එකක් නැත. ‘ෆේස්බුක්’ යන්න ඔහුට අනුව සමාජ උවදුරකි. ඒ ඔහු දකින සැටි ය. අත්දැකීම් වලින් තාත්තා සිටින්නේ, ‘මහා මොළකරුවෙකි’ යැයි ඔහු සිතා සිටින මට වඩා ආලෝක වර්ෂ කිහිපයක් ඉදිරියෙනි.

තාත්තා වෙනුවෙන් මගේ සිතේ ඉලක්ක රාශියක් ඇත. මම ඒවා එකින් එක, එකින් එක ඉටු කරමි. එතෙක්, පෑන තබා, නැවත සන්නාගේ ‘අම්මා’ වෙත යමි. කිසිදු පුද්ගලික ලාභයක් නොතකා මේ ලිපිය කියවූ ඔබට ජය!

Advertisements

තාත්තා” මත සිතිවිලි 2ක්

  1. “තාත්තා වෙනුවෙන් මගේ සිතේ ඉලක්ක රාශියක් ඇත. මම ඒවා එකින් එක, එකින් එක ඉටු කරමි. ” මේ බලාපොරොත්තු ඉටු කරගන්න ලැබේවා. හිතට දැනෙන පෝස්ට් එකක්

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )