අකුණු හඬක් – රේ බ්‍රැඩ්බරි (1)

ගලායන උණුසුම් දිය පහරකට යටින්, බිත්තියේ ඇති දැන්වීම පෙණුනේ සෙලවෙමිනි. ඊකල්ස්ට සිය බැල්ම හරහා තම ඇසිපිය වදිනු දැනුනු අතර ඇතිවී නැතිවී ගිය ක්‍ෂණික අන්ධකාරය තුල දැන්වීම ද බොඳ විය.

TIME SAFARI, INC.
SAFARIS TO ANY YEAR IN THE PAST.
YOU NAME THE ANIMAL.
WE TAKE YOU THERE.
YOU SHOOT IT.

උණුසුම් සෙම පිඬක් ඊකල්ස්ගේ උගුරේ රැස්වුණි; ඔහු එය ගිලගනිමින් පහලට තල්ලු කළේය. ඔහුගේ මුහුණේ වූ මාංසපේශීන් සිනහවක් මවන අතරතුර, ඔහුගේ අත ඉහලට එසවිණි. එම අතේ සිරවී තිබුණු ඩොලර් දස දහසක චෙක්පත, මේසය පිටුපස සිටි මිනිසා සඳහා විය.

“මේ චාරිකාව මං ආපහු පණපිටින් එන එක ගැන වගකියනව ද?”

“අපි කිසිම දෙයක් ගැන වගකියන්නෙ නෑ,” නිළධරයා කීය, “ඩයින්සෝරයන් ගැන හැර,” ඔහු ආපසු හැරුණි. “මේ ඉන්නෙ ට්‍රැවිස් මහත්තයා, අතීතයෙදි ඔබේ මග පෙන්වන්නා. කාටද, කොහේදිද වෙඩිතියන්න ඕන කියලා ඔහු කියයි. ඔහු වෙඩිතියන්න එපා කිව්වොත්, වෙඩි තියන්න එපා. ඔබ උපදෙස් පිළිනොපැද්දොත් ඩොලර් දස දහසක අමතර දඩයකටත්, නීතිමය ක්‍රියාමාර්ග වලටත් යටත්වෙන්න සිදුවෙයි.”

ඊකල්ස් විසල් කාර්‍යාලය හරහා බැල්මක් හෙලීය. ඔහුගේ නෙත ගැටුනේ සර්පයින් සේ දඟර ගැසුණ, ගැටගැසුණ වයර් ගොන්නකින් යුත්, විටෙක තැඹිලි- විටෙක රිදී- විටෙක නිල් පැහැයෙන් නිවි නිවී දැල්වුණ අඳුරු ආලෝකයන් සහිත වූ නිතර ගුමු ගුමුවක් නැඟුණු යකඩ පෙට්ටි ගොන්නකි. සියළුම කාලයන් අළු කරමින්, සියළු වර්ෂයන් සහ සියළු කඩදාසි කැලැන්ඩර, සියළුම දින-පැය-විනාඩි එකට ගොඩගසා පුළුස්සා දමන සුවිසල් ගිනිමැළයක හඬක් එතන විය.

එක් ස්පර්ශයකින් මේ මුළු ගින්නම, ක්‍ෂණයකින්, අලංකාරව ආපස්සට පෙරළේවි. ඊකල්ස්ට ලියුම සඳහා වූ වෙළඳ දැන්වීම් වල වදන් මතක් විය. අඟුරු කැබලි අතරින්, අළු-දුහුවිලි යටින්, රන්වන් සලමන්දරාවන් මෙන්, පැරණි වසරවල්, හරිත වසරවල්, පැන යනු ඇත; රෝස මල් වාතය නැවුම්වත් කරවයි, සුදු කොණ්ඩය අයිරිෂ්-කලු පැහැයට හැරෙයි, සමේ රැළි නැතිවෙයි; සියල්ල, සෑම දෙයක්ම සිය බීජ වෙත පියඹා යයි, මරණයෙන් පැන යයි, සිය ආරම්භයන් වෙත දිව යයි, සූර්යයන් බටහිර අහසින් පායා ප්‍රබෝධමත් නැගෙනහිරවල් වලින් බැස යයි, සඳේ කලාවන් සම්මතයට විරුද්ධව එකිනෙක පසුහඹයි, සියල්ල සහ සෑම දෙයක්ම චීන පෙට්ටි මෙන් එකක් තුල එකක් ගොඩගැසෙයි, තොප්පි තුලට හාවුන් රිංගයි, සියල්ල සහ සෑම දෙයක්ම සිය නැවුම් මරණය වෙත, සිය බීජ මරණය වෙත, සිය හරිත මරණය වෙත, ආරම්භයට පෙර කාලය වෙත ආපසු යයි. එක් ස්පර්ශයකින් එය සිදුවේවි, හුදු එක් හස්ත ස්පර්ශයකින් එය සිදුවේවි.

“අදහන්නත් බෑ.” ඊකල්ස් හුස්ම ගත්තේය, යන්ත්‍රයේ ආලෝකය ඔහුගේ කෙසඟ මුහුණ මතට වැටී ඇත. “ඇත්තම කාල යන්ත්‍රයක්.” ඔහු හිස සැලීය. “ඔහේට හිතෙනවා ඇති, ඊයෙ ඡන්දෙ නරක අතට හැරුණනං, මං මේ ප්‍රතිඵල වලින් පැනල යනවා කියලා. දෙයියන්ගෙ පිහිටෙන් කීත් දින්නා. එයා නම් එක්සත් ජනපදයට හොඳ ජනාධිපති කෙනෙක් කෙනෙක් වෙයි.”

“ඔව්,” මේසය පසුපස සිටි මිනිසා කීය. “අපි වාසනාවන්තයි. දුයිෂර් ආවනම් අපිට මහ ජරාම ඒකාධිපතියෙක් ලැබෙන්නෙ. ඒ මනුස්සයා හැමදේටම විරුද්ධයි, හමුදා පාලකයෙක්, ක්‍රිස්තු-විරෝධියෙක්, මානව-විරෝධියෙක්, බුද්ධි-විරෝධියෙක්. දන්නවද, මිනිස්සු අපිට කතා කළා, විහිළුවට වුණාට විහිළුවට නෙවෙයි. ඒගොල්ලො කිව්වා දුයිෂර් ජනාධිපති වුණොත් ඒගොල්ලොන්ට 1492ට ගිහිං ජීවත් වෙන්න කියලා. අපේ රාජකාරිය චාරිකා වලට අවස්ථාව දීම මිසක්, කොහෙත්ම පැනයාම් සංවිධානය කිරීම නෙවෙයි. කොහොමහරි, දැන් ජනපති කීත් නෙ. ඔහේට වදවෙන්න තියෙන එකම කාරණේ-”

“මගේ ඩයිනොසෝරයට වෙඩිතියන එක ගැන විතරයි,” ඊකල්ස් ඔහු වෙනුවෙන් වාක්‍යය අවසන් කළේය.

“ටිරනොසෝරස් රෙක්ස් කෙනෙක්, කෲර උරගයා, ඉතිහාසයේ ඉන්න දරුණුම අමනුෂ්‍යයා. මේ නිදහස් කිරීමේ ලියවිල්ලට අත්සන් කරන්න. ඔබට මොනවා වුණත්, අපි වගකියන්නෙ නෑ. ඒ ඩයිනසෝරයන්ට හැමතිස්සෙම බඩගිනියි.”

ඊකල්ස් කෝපයෙන් රතු විය. “මාව බයකරන්නද යන්නෙ?”

“කොටින්ම, ඔව්. පළවෙනි වෙඩිල්ලෙන්ම බයේ ගැහෙන කාවවත් ගෙනියන්න අපිට ඕන නෑ. ගිය අවුරුද්දෙ මග පෙන්වන්නො හය දෙනෙකුයි දඩයක්කාරයො දුසිමකුයි අපිට නැතිවුණා. අපි මෙතනට ඇවිත් ඉන්නෙ නියම දඩයක්කාරයෙක්ට අත්විඳින්න පුළුවන් දරුණුම ත්‍රාසය ලබාදෙන්න. අවුරුදු මිලියන හැටක් අතීතයට ගිහිං, එදා මෙදා තුර තිබ්බ හොඳම සෙල්ලම දිනලා එන්න. ඔබේ චෙක්පත තවම අතන. ඕනනං ඒක ඉරලා දාන්න.” ඊකල්ස් චෙක්පත දෙස බැලීය. ඔහු ඇඟිලි වලින් චෙක්පත ඉදිරියට විසිකළේය.

“සුභ ගමන්,” මේසය පිටුපස සිටි මිනිසා කීය. “ට්‍රැවිස් මහත්තයා, මෙයාව අරන් යන්න.”

ඔවුහු ආයුධ ද රැගෙන, නිහඬවම, කාමරය හරහා, ගුගුරන එලි දැල්වුණ රිදීමය යන්ත්‍රය වෙත ගියහ.

(මතු සම්බන්ධයි.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )