අකුණු හඬක් – රේ බ්‍රැඩ්බරි (2)

ඔවුහු ආයුධ ද රැගෙන, නිහඬවම, කාමරය හරහා, ගුගුරන එලි දැල්වුණ රිදීමය යන්ත්‍රය වෙත ගියහ.

මුලින් දහවලක්, පසුව රැයක්, පසුව දහවලක්, පසුව රැයක්, ඉන් පසුව දිවා-රෑ-දිවා-රෑ. සතියක්, මාසයක්, වසරක්, දශකයක්! ක්‍රි.ව. 2055. ක්‍රි.ව. 2019. 1999! 1957! පසුවුණි! යන්ත්‍රය ගිගුරුම් දුනි.

ඔවුහු සිය ඔක්සිජන් හිස්වැසුම් පැළඳ සන්නිවේදන උපකරණ පරීක්ෂා කළහ.

ඊකල්ස් ආසනය මත එහා මෙහා පැද්දුනි. ඔහුගේ මුහුණ සුදුමැලි ය; හක්ක තදවී ඇත. ඔහුට සිය අතේ වෙව්ලීම දැනුණු අතර, පහල බැලූ විට, ඔහුගේ අත්, නව රයිෆලය තදින් අල්ලාගෙන සිටින බව පෙනුණි. යන්ත්‍රය තුල තව හතර දෙනෙක් වූහ. නායක ට්‍රැවිස්, ඔහුගේ සහයක ලෙස්පරන්ස්, සහ තවත් දඩයක්කරුවන් දෙදෙනෙක්; බිලින්ග්ස් සහ ක්‍රේමර්. ඔවුන් එකිනෙකා දෙස බලමින් වාඩිවී සිටි අතර ඔවුන් වටකොට වසරවල් දැල්වුණි.
“මේ තුවක්කු වලට ඩයිනසෝරයෙක් නවත්තන්න පුළුවන්ද?” ඊකල්ස්ට ඔහුගේ මුව කතාකරනු දැනිණ.
“හරියට තිබ්බොත් තමයි,” ට්‍රැවිස් හිස්වැසුම් රේඩියෝවෙන් පැවසීය. “සමහර ඩයිනොසෝරයන්ට මොළ දෙකක් තියෙනවා, එකක් ඔළුවෙ, අනික සුෂුම්නාවෙ යට කෙළවරේ. අපි ඒවට කිට්ටුවෙන්නෙ නෑ. ඒක අවදානම්. පළවෙනි පාරවල් 2 ඇස් වලට තියන්න. පුළුවන්නම් ඌව අන්ධ කරලා, මොළේ පැත්තට යන්න.”
යන්ත්‍රය උඩුබිරීය. කාලය යනු ආපස්සට යන චිත්‍රපටයක් විය. සූර්යයන් පියෑඹූ අතර කෝටියක් චන්ද්‍රයෝ ඒවා පසුපස පියාඹා ගියහ. “හිතන්න,” ඊකල්ස් කීය. “එදා මෙදා ජීවත් වෙච්ච හැම දඩයක්කාරයෙක්ම අපිට ඉරිසියා කරයි. හරියට නිකං මුළු අප්‍රිකාවම, ඉලිනොයිස් ගාණට දැම්මා වගේ.”

යන්ත්‍රය මන්දගාමී විය; එහි ඝෝෂාව කසුකුසුවක් බවට පත්විය. යන්ත්‍රය නැවතුණි.

සූර්යයා අහසේ නැවතුණි.

යන්ත්‍රය ගිලගෙන සිටි මීදුම ඉවත්විය. දඩයක්කරුවන් තිදෙනා සහ, නිල් පැහැ ලෝහ තුවක්කු සිය දණිස් හරහා තබාගත් චාරිකා නායකයින් දෙපළ සිටියේ පැරණි කාලයකය, නිසැකවම අතිශය පැරණි කාලයකය.

“ක්‍රිස්තුස් වහන්සේ තවම ඉපදිලා නෑ,” ට්‍රැවිස් කීය, “මෝසෙස් තවම දෙවියන් එක්ක කතාකරන්න කඳු නැගලා නැහැ. පිරමීඩ තවම බිම සමතලා වෙලා, ලොකු ගල් වලට කැපිලා ගොඩනැගෙනකන් බලාගෙන ඉන්නවා. ඒක මතක තියාගන්න. ඇලෙක්සැන්ඩර්, සීසර්, නැපෝලියන්, හිට්ලර් -ඔය කවුරුවත් නෑ.” මිනිසා හිස වැනීය.

“අර තියෙන්නෙ” -ට්‍රැවිස් මහතා පෙන්වීය- “කීත් ජනාධිපති වෙන්න අවුරුදු හැට මිලියන දෙදහස් පනස් පහකට කලින් වනාන්තරය.”

යෝධ තෘණ පඳුරු සහ පාම් ගස් අතරින්, සෙමින් ගලායන වගුරු බිමට ඉහලින්, හරිත ලැහැබ තුලට විහිදුණු ලෝහමය මාවතක් ඔහු දැක්වීය.

“අරක,” ඔහු කීය, “තමයි, කාල චාරිකා ආයතනය විසින් ඔයගොල්ලන්ගේ පාවිච්චියට එළපු පාර,

ඒක පොළොවෙන් අඟල් හයක් ඉහල පාවෙනවා. එක තණ කොළයක්, මලක් නැත්තම් ගහක් වත් ස්පර්ශ වෙන්නෙ නෑ. ඒක ප්‍රති-ගුරුත්ව ලෝහයක්. ඒකෙ කාර්යය මෙතන ඉන්න අයව කිසිම ආකාරයකින් මේ අතීත ලෝකෙ එක්ක ස්පර්ශ වෙන එක වැළැක්වීම. ඒ පාරෙම ඉන්න. ඒකෙන් එලියට බහින්න එපා. මම ආයෙත් කියනවා. එලියට පනින්න එපා. කිසිම හේතුවකට! ඔයාව වැටුණොත් ඒකට දඬුවමක් තියෙනවා. අනෙක් කාරණේ, අපිට අදාළ නැති කිසිම සතෙකුට වෙඩි තියන්න එපා.”

“ඇයි?” ඊකල්ස් ඇසීය.

ඔවුන් එතැන හිඳගත්හ. ඈත සිටින කුරුල්ලන්ගේ කෑගැසීම් සුළඟේ ගසාගෙන ගියේය, තාර සහ පැරණි ලුණු මුහුදු ගන්ධය, තෙත තණකොළ, ලේ-රතු පැහැ මල් අවට විය.

“අපිට අනාගතය වෙනස්කරන්න ඕන නෑ. අපිව මේ අතීතෙට අයිති නෑ. ආණ්ඩුවත් අපි මෙතනට එනවට කැමති නෑ. මේ වෙළඳාම කරගෙන යන්නෙ ආණ්ඩුවට ලොකු කුට්ටියක් ගෙවලා. කාල යන්ත්‍රයක් කියන්නෙ කතන්දර ගොඩක්. හරියට දන්නැතුව ආවොත්, අපේ අතින් සමහර විට වැදගත් සතෙක්, පොඩි කුරුල්ලෙක්, මාළුවෙක්, නැත්තම් මලක් හරි තැලිලා පොඩිවෙලා ගිහිං, බෝ වෙමින් පවතින සත්ත්ව සංහතියක වැදගත් පුරුකක් විනාසවෙන්න පුළුවන්.”

“ඒක එච්චර පැහැදිලි නෑ,” ඊකල්ස් කීවේය.

“හරි,” ට්‍රැවිස් නැවත පැහැදිලි කළේය, “හිතන්න අපේ අතින් වැරදිලා මෙතනදි මීයෙක් මැරුණා කියලා. ඒ කියන්නෙ මේ මීයගෙ සියළු අනාගත පවුල් පරම්පරා විනාශ වුණ. එහෙමනෙ?”

“ඔව්.”

“ඒ කියන්නෙ ඒ තනි මීයගෙ පවුල් වලත්, පවුල් වලත්, පවුල් වල සියළුම මීයෝ! ඔයාගෙ එක අඩියකින් ඔයා පළවෙනි එකාව වාෂ්ප කරනවා, ඊට පස්සෙ දුසිමක්, පස්සෙ දාහක්, මිලියනයක්, බිලියනයක් මීයො නැතිවෙන්න පුළුවන්!”

“ඔව්. උන් මැරෙණවා,” ඊකල්ස් කීය. “ඉතිං?”

“ඉතිං?” ට්‍රැවිස් සෙමින් ගෙරවීය. “එතකොට ජීවත්වෙන්න ඒ මීයන්ව කන්න ඕනවෙන නරියන්ට මොකද වෙන්නෙ? මීයො දහයකට එක නරියෙක් මැරෙනවා. නරි නැතිකමින් එක සිංහයෙක් හාමත් වෙනවා. එක සිංහයෙක් නැති කමින් සියළුම වර්ගවල කෘමීන්, ගිජුලිහිණියන්, බිලියන අනන්ත ගණනක් ඉන්න තවත් ජීවීන් විනාස වෙලා යනවා. ඔය සේරම කෙටියෙන් පැහැදිලි කළොත්: තව අවුරුදු මිලියන පණස් නවයකට පස්සෙ, ආදිවාසී කෙනෙක්, වල් ඌරෙක්ව හරි සේබර්ටූත් කොටියෙක්ව හරි දඩයමේ යනවා. ඒත් ඔබතුමා, දැනටමත් ඒ පළාතෙ ඉන්න සේරම කොටින්ව පාගලා දාලා ඉවරයි- එක මීයෙක්ව පාගපු නිසා. ඒ නිසා අර ආදිවාසියා බඩගින්නෙ. ආදිවාසියෙක් වුණාට මේ එහෙම අහක දාන්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයි. ඔහු තනිකරම අනාගත ජාතියක්. ඔහුට දාව ළමයි දහයක් ඉපදෙන්න තිබුණා. ඒ ළමයින්ගෙන් තව ළමයි සීයක්, ඔය වගේ දිගටම ගිහින් අන්තිමේ ශිෂ්ටාචාරයක්. මේ එක මිනිහව විනාශ කළොත්, සනුහරයක්, මුළු ජීවිත ඉතිහාසයක්ම විනාශ වෙනවා. හරියට නිකං ආදම්ගෙ මුණුබුරෙක් ඝාතනය කළා වගේ. එක මීයෙක්ගෙ උඩ ඔයා තියන අඩිය නිසා මේ මහ පොළොවයි, කාලය දිගේ ලියවුණු අපේ ඉරණමයි ඒවයෙ පදනමේ ඉඳන් හෙල්ලිලා යන තරමේ භූමිකම්පාවක් ඇතිවෙන්න පුළුවන්. අර එක ආදිවාසියෙක්ගෙ මරණය නිසා තවම ඉපදිලාවත් නැති බිලියන ගණනක් යෝනි අතුලෙම මියැදෙනවා. සමහර විට රෝමය කවදාවත් කඳු හත මත දිදුලන එකක් නෑ. සමහරවිට යුරෝපය සදාකාලිකවම අඳුරු වනාන්තරයක් වෙලා, ආසියාව විතරක් සෞභාග්‍යමත් වෙයි. මීයෙක්ව පාගලා ඔයා තියන අඩියෙන් තැලිලා යන්නෙ පිරමීඩ. මීයෙක්ව පාගලා තියන අඩිය හරියට නිකං ග්‍රෑන්ඩ් කැන්යන් එකක් වගේ සදහටම තියෙයි. එළිසබෙත් රැජිණ කවදාවත් උපදින එකක් නෑ, වොෂින්ටනය ඩෙලවෙයාර් හරහා යන එකක් නෑ, සමහරවිට කිසිදාක එක්සත් ජනපදයක් පවතින එකකුත් නෑ. ඒ නිසා පරිස්සමෙන්. පාරෙම ඉන්න. එළිය අඩිය තියන්න එපා!”

(මතු සම්බන්ධයි.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )