මරණය කියන්නෙ බලාපොරොත්තු නොවන අවස්ථාවක්. කවුරුත් මරණය එන තුරු සැදී පැහැදී ඉන්නෙ නැහැ. කොපමණ අසාධ්‍ය රෝගීන් වුණත් තව දවසකින් හෝ දෙකකින් මැරෙන බව හිතන්නෙ නැහැ. සමහරවිට සතියකින් මියැදෙයි, හැබැයි ඒ සතිය මේ සතිය නම් නෙවෙයි.

අපි කවදාවත් සූදානම් නැහැ. කිසිම වෙලාවක් හරි වෙලාව නෙවෙයි. මරණය පැමිණෙනකොට, අපි කවදාවත් අපිට කරන්න තිබ්බ හැම වැඩක්ම කරලා ඉවර නැහැ. අවසානය ක්‍ෂණිකව ළඟාවෙන දෙයක්, එවෙලෙට වැන්දඹුවන් කඳුළු පෙරද්දි මළ ගෙවල් ගැන මෙලෝ හසරක් නොදන්න පොඩිඋන් නම් (දෙයියන්ට පිං සිද්ධවෙන්න) කම්මැලිකමේ බලාගෙන ඉන්නවා.

මගෙ තාත්තා ගැනත් මීට වඩා වෙනස් දෙයක් කියන්න නැහැ. ඇත්තම කිව්වොත් ඔහුගෙ මරණය පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුණ දෙයක් වුණා. ඔහු මියැදුණේ වයස 27දි. ඔහු එතකොට තරුණයි. ගොඩක් තරුණයි. මගේ තාත්තා සංගීතඥයෙක්වත් ප්‍රසිද්ධ පුද්ගලයෙක්වත් නෙවෙයි. පිළිකා තමන්ගෙ ගොදුරු වලට තෝරාගැනීම් කරන්නෙ නැහැ. මම ලොකු වෙද්දි ඔහු මියගිහින්, මම මළගෙයක් කියන්නෙ මොකක්ද කියලා දැනගත්තෙත් ඔහු නිසා. එතකොට මට වයස අවුරුදු අටහමාරයි, ජීවිතකාලෙම තාත්තව මතක තියෙන්න තරම් ප්‍රමාණවත් වයසක්. ඔහු ඊට කලින් මියගියා නම්, මට මතක නොතිබෙන්න තිබුණා. මට වේදනාවක් නොදැනෙන්න තිබුණා. ඒත් මගෙ ජීවිතේට තාත්තා කෙනෙක් නොහිටින්නත් ඉඩ තිබුණා. මට තාත්තා කෙනෙක් හිටියා.

මට ඉතාමත් ඍජු නමුත් විනෝදකාමී තාත්තා කෙනෙක් හිටියා. එයා මට දඬුවම් කරන්න කලින් විහිළුවක් දෙකක් කරපු කෙනෙක්, එතකොට මට දුක හිතෙනවා අඩුයි. එයා මම නිදාගන්න යන්න කලින් නළලට හාද්දක් දීපු කෙනෙක්. (මමත් ඒක මගෙ ළමයින්ට පුරුද්දක් විදිහට කරනවා.) එයා උදව් කරන පාපන්දු කණ්ඩායමටම මටත් කෑ ගහන්න කියලා බල කරපු කෙනෙක්. අම්මට වඩා හොඳට දේවල් පැහැදිලි කරපු කෙනෙක්. මං කියන එක තේරෙණවනෙ? ළඟ නැති වුනහම පාළු හිතෙන ජාතියෙ කෙනෙක්.

එයා කවදාවත් කිව්වෙ නැහැ එයා මැරෙන්න ඉන්නෙ කියලා.  ඉස්පිරිතාලෙ ඇඳේ උඩුබැලි අතට ඉඳගෙන, ඇඟ පුරාම බට ගහගෙන ඉඳිද්දිවත් එයා මුකුත්ම කිව්වෙ නෑ. මගේ තාත්තා ඊළඟ අවුරුද්දෙ කරන වැඩ ගැන සැලසුම් කළේ, ඊළඟ මාසෙ වෙනකම් වත් එයාට ජීවත්වෙන්න බැහැ කියලා දැනගෙනමයි. ‘අපි ලබන අවුරුද්දෙ අපි මාළු බාන්න යං, ඇවිදින්න යං, මීට කලින් කවදාවත් ගියපු නැති දිහාවකට යං. ලබන අවුරුද්ද තමයි අවුරුද්ද.’ අපි ජීවත් වුණේ එකම හීනෙ.

මං හිතනවා— ඇත්තම කිව්වොත් මං දන්නවා—එහෙම හිතුවහම වාසනාව උදාවෙයි කියලා එයා විශ්වාස කළා කියලා. මගේ තාත්තා මිත්‍යාදෘෂ්ටික මනුස්සයෙක්. එයාගෙ බලාපොරොත්තු දිගටම ජීවත් කරවන ක්‍රමයකට එයා දැනගෙන හිටියෙ අනාගතේ ගැන හිතන එක. ඒ යකා අන්තිම මොහොත වෙනකම්ම මාව හිනැස්සුවා. එයා ඒ ගැන දැනගෙන හිටියත්, මට කිව්වෙ නැහැ. එයා මං අඬනවා දැක්කෙ නැහැ.

ඊළඟ අවුරුද්ද ඉවර වුණේ, ඒක පටන්ගන්නත් කලින්.

අම්මා පාසලට ඇවිත් මාව අරගෙන ඉස්පිරිතාලෙට ගියා. එතනදි දොස්තර කෙනෙක් සුපුරුදු සංවේදී වෛද්‍ය තාලෙන් අම්මට ප්‍රවෘත්තිය කිව්වා. අම්මා ඇඬුවා. එයාට පුංචි බලාපොරොත්තුවක් තිබුණා තාත්තා ගැන. මම කලින් කිව්වනෙ, අපි හැමෝම එහෙමයි. මට වේදනාව ගොඩක් තදින් දැනුණා. මොකද්ද මේකෙ තේරුම? මේක අර දොස්තරලා හොඳකරලා දාන නිකං ලෙඩක් නෙවේද? මට උඹත් එක්ක ගොඩක් තරහා ගියා, තාත්තේ. උඹ මට ද්‍රෝහි වුණා! මං තරහින් ඉස්පිරිතාලෙ හෙල්ලෙන්න කෑගැහුවා, මට ‘කටවහගන්න’ කියන්න තාත්තා කෙනෙක් නෑ කියලා මතක් වෙන්න කලින්. මං ඇඬුවා.

පස්සෙ, මගෙ තාත්තා ආපහු මට තාත්තා කෙනෙක් වුණා. කිහිල්ල අස්සෙ සපත්තු පෙට්ටියක් ගහගත්ත හෙදියක් මගෙ ඉස්සරහට ආවා. පෙට්ටිය පිරිලා තිබ්බෙ මුද්‍රා තියපු ලියුම් වලින්. ලිපින ලියන්න ඕන තැන්වල ලියලා තිබ්බෙ එක එක වාක්‍ය. මට වෙන්නෙ මොකක්ද කියලා හරියට තේරුණේ නෑ. පස්සෙ ඒ හෙදිය මට එක ලියුමක් දුන්නා, ඒක විතරයි පෙට්ටියෙන් එළියෙ තිබ්බෙ.

“ඔයාගෙ තාත්තා මට කිව්වා මේ ලියුම ඔයාට දෙන්න කියලා. එයා පහුගිය සතියෙම කළේ මේවා ලියපු එක. ඔයාටයි මේවා ලිව්වෙ. බය නැතුව ඉන්න.” හෙදිය මාව බදාගන්න ගමන් කිව්වා.

ලියුමෙ ගහලා තිබ්බෙ “මා ගිය පසු” කියලා. මං ඒක කැඩුවා.

පුතා,

ඔයා මේක කියවනවා කියන්නෙ මම මැරිලා. මට සමාවෙන්න. මම මැරෙන බව මං දැනගෙන හිටියා.

මට ඕන වුණේ නැහැ වෙන්නෙ මොනවද කියලා ඔයාට කියන්න. මට ඕන වුණේ නැහැ ඔයා අඬනවා බලන් ඉන්න. පේන විදියට නං මම වැඩේ කළා. මං හිතන්නෙ මැරෙන්න නියම වෙලා ඉන්න මනුස්සයෙක් පොඩ්ඩක් ආත්මාර්ථකාමී විදිහට හැසිරුණාට පවු නැහැ.

දන්නවනෙ, මට ඔයාට උගන්නන්න තව ගොඩ්ඩාක් දේවල් තියෙනවා. ඇත්තම කිව්වොත් ඔයා දන්න මගුලක් නෑ. ඒක නිසයි මම මේ ලියුම් ටික ඔයාට ලිව්වෙ. හරිම වෙලාව එනකන් ඔයාට ඒවා බලන්න බැහැ, හරිද? ඒකයි මගේ කොන්දේසිය.

මං ඔයාට ආදරෙයි පුතා. අම්මව බලාගන්න. ඔයා තමයි දැන් ගෙදර ලොක්කා.

ආදරෙන්, තාත්තා.

පලි: මම අම්මට ලියුම් ලිව්වෙ නැහැ. මගෙ වාහනේ එයා ළඟ.

එයාගෙ අකුරු දැක්කම මගෙ ඇඬිල්ල නැවතුණා. ඒ කාලෙ මුද්‍රණය කරන එක ලේසි නෑ. මට යන්තම් තේරුණ ඒ කැත අකුරු ටික තමයි මාව සන්සුන් කළේ. ඒ මගෙ තාත්තගෙ වැඩ වල හැටි. හරියට දඬුවමට කලින් විහිළුව වගේ තමයි.

ඒ පෙට්ටිය එදායින් පස්සෙ මගේ ජීවිතේ වටිනම දේ වුණා. මම අම්මට කිව්වා ඒක අරින්න එපා කියලා. ඒ ලියුම් මගෙ, වෙන කාගෙවත් නෙවෙයි. ඒවයෙ කවර වල ලියලා තිබ්බ හැම වාක්‍යක්ම මට කටපාඩම් තිබ්බා. හැබැයි ඒවා සිද්ධවෙන්න ටිකක් කල් ගියා. පස්සෙ මට ඒක අමතක වුණා.

අවුරුදු හතකට පස්සෙ, අපි හිටියෙ වෙන තැනක. අර පෙට්ටිය කොහේ දැම්මද කියලා මට මතකයක් තිබ්බෙ නෑ.  අඩු ගානෙ මට පෙට්ටියවත් මතක තිබ්බෙ නෑ. අපිට සාමාන්‍යෙන් දෙයක් අමතකවෙලා ගියහම අපි ඒ ගැන වදවෙන්නෙ නැහැ. ඔයාට මොකක්හරි දෙයක් ගැන තිබුණ මතකය නැතිවුණා කියන්නෙ ඒ දෙය නැතිවුණා කියන එක නෙවෙයි; ඒ දෙය කවදාවත්ම පැවතුණේ නැහැ කියන එක. හරියට කලිසම් සාක්කුවල තියෙන මාරුකාසි වගේ.

පස්සෙ තමයි වැඩේ සිද්ධවුණේ. මගේ තරුණ සමය සහ අම්මගෙ අලුත් පෙම්වතා නිසා තාත්තා ගොඩක් කාලෙකට කලින් බලාපොරොත්තු වෙච්ච දේවල් ඇත්ත වෙන්න පටන්ගත්තා. මගේ අම්මට පෙම්වතුන් කීපදෙනෙක්ම හිටියා, ඒත් මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අම්මා ආයෙ කසාද බැන්දෙ නැහැ. ඇයි කියලනම් මම දන්නෙ නෑ, ඒත් මම කැමතියි ඒකට හේතුව වුණේ අම්මගේ එකම සත්‍ය ප්‍රේමය තාත්තා වීම කියලා විශ්වාස කරන්න. කොහොමවුණත් මේ පෙම්වතා නම් වැඩකට ඇති මනුස්සයෙක් නෙවෙයි. එයත් එක්ක එළියට ගිය එකෙන් අම්මා එයාටම අපහාසයක් කරගත්තෙ. ඒ මිනිහට අම්මා ගැන කිසි ගරුසරුවක් තිබ්බෙ නෑ. තැබෑරුමෙදි නිකං හම්බුණ ඒ වගේ මිනිහෙක්ට වඩා ගොඩක් හොඳ කෙනෙක්ව එයාට හම්බෙන්න ඉඩතිබ්බා.

මට තාම මතකයි ‘තැබෑරුම’ කියලා කිව්ව නිසා අම්මා මට ගහපු කනේ පාර. මම පිළිගන්නවා ඒක සාධාරණයි කියලා. මට ඒක තේරණේ කල් යද්දි. ඒත් එවෙලෙදි, මගේ කම්මුල රත් වෙලා තියෙද්දි, මට මතක්වුණා පරණ පෙට්ටියයි ලියුම් ටිකයි. මට මතක් වුණේ එක විශේෂ ලියුමක්, “අම්මත් එක්ක ගියපු නරකම රණ්ඩුවට පසු” කියලා ලියල තිබ්බ.

මම ඒක හොයන්න මුළු කාමරේම පෙරළුවා, ඒකට මට තව කනේ පාරක් ගහන්න ඕන. පස්සෙ අල්මාරියක් උඩ තිබ්බ පෙට්ටියක තිබිලා ඒක හමුවුණා. මං ලියුම් ටික පෙරළගෙන පෙරළගෙන ගියා. එතකොට දැක්කා මට “ප්‍රථම හාදුවට පසු” ලියුම කියවන්න බැරිවෙලා කියලා. මට ඒක ගැන මාත් එක්කම තරහා ගියා; ඒක ඊළඟට කඩන්න මම හිතාගත්තා. ඊළඟට තිබ්බෙ “කන්‍යාභාවය නැතිවූ පසු” ලියුම, ඒකත් ළඟදිම කියවන්න ඕන කියලා මට හිතුණා. ටිකක් වෙලා යද්දි මට වුවමනා එක හමුවුණා.

දැන් ගිහින් එයාගෙන් සමාව ගන්න.

ඔය දෙන්නා රණ්ඩුවුණේ ඇයි කියලවත්, දෙන්නගෙන් කවුද හරි කියලවත් මම දන්නෑ. ඒත් මම ඔයාගෙ අම්මව දන්නවා. මේක විසඳන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිහතමානීව සමාව ගැනීම. මම කතාකරන්නෙ දණගහලා වැඳලා සමාව ගැනීමක් ගැන.

කොල්ලො, ඒ ඔයාගෙ අම්මා. මේ ලෝකෙ අනිත් සේරටම වඩා එයා ආදරේ ඔයාට. ඔයා දන්නවද අම්මා ඔයාව ඉපැද්දුවෙ ස්වහාවිකව කියලා? මොකද කෙනෙක් දවසක් එයාට කියලා තිබ්බා ඒක තමයි දරුවාට හොඳම ක්‍රමය කියලා. ඔයා කවදාහරි දැකලා තියෙනවද දරුවෙක්ව බිහිකරන අම්මා කෙනෙක්ව? ඊටත් වඩා ආදරය ගැන ඔප්පුකිරීමක් ඔයාට ඕනද?

සමාව ගන්න. එයා සමාව දෙයි.

ආදරෙන්, තාත්තා.

මගේ තාත්තා ලේඛකයෙක් නෙවෙයි, බැංකුවක ලිපිකරුවෙක්. ඒත් එයාගෙ වචන මට ගොඩක් තදින් වැදුණා. මගෙ මුළු අවුරුදු 15ක ජීවිතකාලෙටම වඩා අත්දැකීම් ඒ වචන අස්සෙ තිබුණා.

මම දුවගෙන ගිහින් අම්මගෙ කාමරේ දොර ඇරියා. අම්මා පිටිපස්ස හැරිලා බලද්දි මම හිටියෙ අඬ අඬ. අම්මගෙ ඇස් වලත් කඳුළු. මට මතක නැහැ එයා මට මොකක් කියලද කෑගැහුවෙ කියලා. “මොනවද දැං ඕන?” කියලා අහන්න ඇති. මට මතක තාත්තා ලියපු ලියුමත් අරන් මම අම්මා ළඟට ගියා කියලා විතරයි. මම ලියුම එක අතකින් පොඩිකරගෙනම අම්මව බදාගත්තා. අපි ටිකක් වෙලා සද්ද නැතුව එහෙම්මම හිටියා.

තාත්තගෙ ලියුම කියෙව්වට පස්සෙ අම්මට හිනා ගියා. අපි දෙන්නා සමාදාන වෙලා තාත්තා ගැන ටිකක් කතා කළා. අපි එයාගෙ විකාර පුරුදු ගැන කතා කළා, සොසේජසුත් එක්ක ස්ට්‍රෝබෙරි කනවා වගේ පුරුදු. එයා එතන ඉන්න ගතියක් මට දැනුණා. මමයි, අම්මයි, තාත්තගෙ කෑල්ලකුයි; කොල කෑල්ලක ලියලා දාලා ගියපු එයාගෙ කෑල්ලක්.

“කන්‍යාභාවය නැතිවූ පසු” ලියුම කියවන්නත් මට වැඩි කල් ගියෙ නැහැ.

සුබ පැතුම්, පුතා.

බයවෙන්නෙපා, ඒක කාලෙත් එක්ක හරියනවා. පළවෙනිපාර කොහොමත් අවුල් යනවා. මගේ පළවෙනි අත්දැකීම වුණේ කලු ගෑණියෙක් එක්ක…අනික එයා ගණිකාවක්.

මට තියෙන ලොකුම බය මේක කියවලා ඉවරවෙලා ‘කන්‍යාභාවය කියන්නෙ මොකද්ද?’ කියලා ඔයා අම්මගෙන් අහයි කියලා. ඊටත් වඩා අන්තයි ස්වයංවින්දනය කියන්නෙ මොකද්ද කියලවත් දන්නැතුව මං ලියපු එක කියෙව්වනං (දන්නවනෙ නෙහ්?). කොහොමවුණත් ඒක මට අයිති කාරණයක් නෙවෙයි.

ආදරෙන්, තාත්තා.

තාත්තා මුළු ජීවිතකාලෙ පුරාම මගෙ පස්සෙන් ආවා. මගෙ ළඟ නොහිටියත්, එයා මා එක්කම හිටියා. කාටවත් තරන්න බැරිවුණ දේවල් තාත්තගෙ වචන වලට කරන්න පුළුවන් වුණා: මට මුහුණදෙන්න වුණ අනන්ත අප්‍රමාණ අභියෝග වලට මාව දිරිමත් කළේ ඒ වචන. කොච්චර එපාවෙන වෙලාවක වුණත් මාව හිනස්සන්න ක්‍රමයක් එයා දැනගෙන හිටියා; නැත්තං තරහ ගිය වෙලාවට මාව සන්සුන් කරවන ක්‍රමයක්. “කසාද බැන්ද පසු” ලියුමත් ගොඩක් හැඟීම්බර එකක් වුණා. හැබැයි ඒ “තාත්තා කෙනෙක් වූ පසු” ලියුම තරම් නම් නෙවෙයි.

පුතා, දැන් ඔයාට තේරෙනවා ඇති ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද කියලා. ඔයාට තේරෙයි ඔයා කොච්චර ඔයාගෙ ගෑණු ළමයට ආදරෙයිද කියලා, හැබැයි ඇත්තටම ආදරය කියන්නෙ ඔය එහාපැත්තෙ ඉන්න පුංචි බෝලගෙඩිය ගැන ඔයාට දැනෙන මොකක්හරි හැඟීමට. මම දන්නෙ නෑ එයා කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා. මං මළමිනියක් මිසක් සාස්තරකාරයෙක් නෙවෙයිනෙ.

සතුටින් ඉන්න. දැන් ඉතින් කාලෙ ඉක්මණට ගතවෙයි, ඒ නිසා හැම දෙයක් එක්කම ඉන්න. කිසිම මොහොතක් අතහරින්න එපා, ඒවා ආයෙ කවදාවත් එන්නෙ නෑ. නැප්කින් මාරු කරන්න, දරුවව නාවන්න, මේ පොඩි එකාට වීරයෙක් වෙන්න. මං දන්නවා ඔයාට පුළුවන් නියම තාත්තා කෙනෙක් වෙන්න, හරියට මේ මං වගේ.

මම මගේ ජීවතකාලෙට කියවපු වේදනාකාරීම ලියුමම තමයි තාත්තා මට ලියපු කෙටිම ලියුම. ඒ වචන හතර ලියද්දි තාත්තට දැනුණෙත්, ඒ මොහොත ගතකරද්දි මට දැනුණ වේදනාවම කියලා මං හිතනවා. ඒකට ටිකක් කල් ගතවුණා, ඒත් කොහොමින් හරි මට  “අම්මා මියගිය පසු” ලියුමත් කියවන්න සිද්ධ වුණා.

එයා දැන් මගේ ළඟ.

විහිළුවක්. හිනාවෙන වෙස් මුහුණකින් තමන්ගෙ කඳුළු වහගත්ත විහිළුකාරයෙක්. ඒ ලියුමට විතරයි මාව හිනස්සන්න බැරි වුණේ, ඒකට හේතුවත් මං දැනගෙන හිටියා.

මම හැමදාමත් තාත්තාගෙ කොන්දේසිය පිළිපැද්දා. මම වෙලාව එනකන් කිසිම ලියුමක් කියෙව්වෙ නැහැ. හැබැයි ඒ “සමරිසියෙක් බව තේරුම්ගිය පසු” ලියුම හැර. ඒක මට කවදාවත් කියවන්න වෙන්නෙ නැති බව දන්න නිසා මම තීරණය කළා ඒකත් කඩලා බලන්න. ඒකද කොහෙද මාව වැඩියෙන්ම හිනස්සපු ලියුම.

මොනවා කියන්නද ඉතිං! හොඳ වෙලාවට මං මැරුණෙ.

විහිළු පැත්තකින් තියමුකො. මට මෙහෙම බාගෙට මැරිලා ඉන්නකොට තමයි තේරුම් ගියේ එච්චර වැදගැම්මක් නැති කාරණා වලට අපි කොච්චර වද වෙනවද කියලා. පුතා හිතනවද ඒකෙන් වෙනසක් වෙයි කියලා?

මෝඩ වෙන්නෙපා. සතුටින් ඉන්න.

මම හැමතිස්සෙම ඇඟිලි ගැන්නෙ ඊළඟ මොහොත, ඊළඟ ලියුම කියවන්න ලැබෙනකං. තාත්තා මට ඊළඟට උගන්නන්න යන පාඩම දැනගන්නකං. අවුරුදු 27 වුණු කෙනෙක් ළඟ අවුරුදු 85 වුණු මං වගේ වැඩිහිටියෙක්ට උගන්නන්න තිබුණ දේවල් මහ පුදුමාකාරයි.

මම දැන් ඉන්නෙ ඉස්පිරිතාලෙ ඇඳක. මේ පිළිකාවට පින් සිද්ධවෙන්න දැන් මගේ නහයෙයි උගුරෙයි බට ගහලා තියෙන්නෙ. මම මේ ඇඟිලි යට තියන් ඉන්න දුර්වර්ණ වේච්ච කොළේ තියෙන්නෙ මම කියවපු නැති එකම ලියුම. “ඔබේ වාරය ආ පසු” කියලා ලියුම් කවරෙ තියෙන අකුරු ටික පේන්නෙත් ලාවට.

මට ඒක කියවන්න ඕන නැහැ. මට බයයි. මගෙ වාරෙ ඇවිත් කියලා හිතන්න මට ඕනෙ නැහැ. ඒක විශ්වාසය ගැන ප්‍රශ්නයක් කියලා දන්නවනෙ. කවුද කැමති තමන් දැන් මැරෙන්න යන්නෙ කියලා හිතන්න!

මම දිග හුස්මක් ගන්නෙ ලියුම් කවරෙ අරින ගමන්මයි.

කොහොමද පුතා. මම හිතන්නෙ ඔයා දැන් වයසක මනුස්සයෙක්.

ඔයාට කියන්න, මේක තමයි මම ලේසියෙන්ම ලියපු ලියුම, සහ මුලින්ම ලියපු එක. මට ඔයාව නැතිවෙන්න යනවා කියන දුකෙන් මාව ගලවගත්තෙ මේ ලියුම. මම හිතන්නෙ කෙනෙක් තමන්ගෙ මරණයට මෙච්චර කිට්ටු වුණහම එයාගෙ මනස පැහැදිලි වෙනවා. එතකොට ඒ ගැන කතාකරන්න ලේසියි.

මම මෙහේ හිටපු අන්තිම කාලෙ මම කල්පනා කරලා බැලුවා මං ගතකරපු ජීවිතේ ගැන. මට තිබුණෙ අතිශය කෙටි, ඒත් ගොඩක් සතුටුදායක ජීවිතයක්. මම ඔයාගෙ තාත්තා, සහ ඔයාගෙ අම්මගෙ ස්වාමිපුරුෂයා. මම ඊටත් වඩා මොනවා ලබන්නද? මගේ මනස මම සන්සුන් කරගත්තෙ එහෙම. දැන් ඔයාගෙ වාරය.

මගේ උපදෙස: ඔයාට බයවෙන්න කිසිම වුවමනාවක් නැහැ.

පලි: මට ඔයා නැතුව පාළුයි


Rafael Zoehler විසින් මෙතැන පළකළ ලිපියෙන් සිංහලට පරිවර්තනය කරන ලදී. සියලු පරිවර්තන දෝෂයන්හි වගකීම බාරගනිමි.

Advertisements

මා ගිය පසු” මත සිතිවිලි 6ක්

  1. සුපිරි කතාවක්.ජීවිතය වෙනස් විදිහෙ කෝනයකින් බලන්න හිතන හැමෝටම මේකතාව ලොකු උපකාරයක්.ජීවත් වෙන්න මිල මුදල් සොයන්න නෙවෙයි අත්දැකීම් එකතු කරගන්න..මෙවන් වැඩකට ඔබට සුබ පැතුම්.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )