හාන්සි පුටුවක දිගා වී කරන පුනරාවර්ජනයකි

වසර: 2006

මම පහේ ශිෂ්‍යත්වය සමත් වී ආනන්දයට පා තැබීමි. කොළඹ පරිසරය මට තවම නුහුරු ය. කොළඹ මිනිසුන් මට ඊටත් වඩා නුහුරු ය. මම පාසල් බස් රියේ නැගී ගෙදර යමින් සිටිමි. මට යාබද අසුනේ සිටියේ තාරකයියා ය. ඔහු අමුතු පොරකි. (ඔහුව සමාජය කොන් කෙරුවේ ඔහුගේම ඇතැම් කුහක ආකල්ප නිසාදෝ යි මට දැන් සිතේ.) මම හයේ ය; ඔහු හතේ ය. ආනන්දය ගැන ගුරුහරුකම් ගන්නයැයි මට දෙමාපියන් කීවේ ඔහුගෙනි.

මැද පෙළ අසුනක වාඩිවී සිටි මම දාඩිය පිසදමමින්, ජනේලයෙන් ඉස්සි ඉස්සි පාර දෙපස බලමින් සිටියෙමි. විටින් විට තාරකයියා සමග මෙලෝ රහක් නැති කදයක් ද දමන්නෙමි. ඒ අතරතුර වේලාවක තාරකයියා මගෙන් මෙසේ ඇසීය:
“පන්තියෙ කට්ටියගෙන් ඔයා මොනාහරි අහද්දි සමහර අය ඉන්නවා නේ කියලදෙන් නැති? ආ?”
මම ඔව් යැයි කීමි.
“මටත් හම්බෙලා තියෙනවා එහෙම අය. ඒගොල්ලො ආපහු ඔයාගෙන් මොනවහරි ඇහුවම ඔයත් ඒගොල්ලන්ට කියල දෙන්න යන්නෙපා හරිද? පස්සෙ ඒගොල්ලො ගිහිල්ලා ඒවා හොඳට විබාග වල ලියලා ලකුණු ගනියි, අපි තමයි පස්සට යන්නෙ!”
මම මුකුත් නොකීමි. නැවත ජනේලය දෙස හැරුණෙමි.

මට තාත්තා පවසා ඇත්තේ දන්නා සෑම දෙයක්ම, සෑම කෙනෙක්ටම පුළුවන් උපරිමයෙන් කියා දෙන ලෙසය. එතකොට මේ මිනිහා මොකද්ද මේ කියන්නෙ? නමුත් තාරකයියගේ වදන් වල තර්කානුකූල බවක් නැත්තේම නැත. අනේ මන්දා ය.


වසර: 2012

තාරකයියා 2010 වසරේ සාමාන්‍ය පෙළ සමත්වී ජීව විද්‍යා විෂයෙන් උසස් පෙළ හදාරමින් සිටියේ ය. ජීව විද්‍යාව තෝරා ගැනීමට හේතුව ලෙස ඔහුගේ පියා මෙසේ කීය: “අපිත් මැත්ස් වලින් කරලා තමයි ඒ ලෙවල් පාස් උනේ. හැබැයි අපිට රස්සාවල් නං හම්බුණේ නෑ. අනික මං ACL කේබල්ස් එකේ වැඩකරපු මේ අවුරුදු ගානටම අපිට ඒ ලෙවල් මැත්ස් වල උගන්නපු මෙලෝ බහුබූතයක් හම්බෙලා නෑ. විකාර. ඒ වගෙද බයෝ කරලා ඩොක්ට කෙනෙක් වුණාම? අපෙ නංගිගෙ පුතෙකුත් ඉන්නවා. මිනිස්සු එයාගෙ ගෙදෙට්ට ඇවිත් සල්ලි දීලා යන්නෙ!”

මම 2011 වසරේ පැවැත්වුණු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ හැදෑරීමට ගණිත විෂය තෝරාගත්තෙමි. ඊට හේතුවූ එකම කරුණ, මා ඉදිරිපිට තිබූ තෝරාගැනීම් අතරින් මම අඩුවෙන්ම හිරිකිත කළ විෂය ධාරාව ගණිතය වීමයි. තාත්තා මට කීවේ: “මොකක් කළත් මටනං කමක් නෑ, හැබැයි බාගෙට කරන්නෙපා.” කියා පමණි.


වසර: වර්තමානය

මම 2014 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී මොරටුව ඉංජිනේරු පීඨයට පා තැබීමි.

තාරකයියා 2013 වසරේ ජීව විද්‍යා විෂයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ ය. ප්‍රතිඵල වූයේ CCC ය. වෛද්‍ය පීඨය අහිමි විය. ටියුෂන් පන්ති ගිය අග දිනවල පටන් තිර අදිටනින් සිටි පරිදිම, ඔහු නැවත වරක් විභාගයට සූදානම් විය.

ඔහු 2014 වසරේ උසස් පෙළට හැදෑරුව ද විභාග දිනයට පෙර දිනයේ වැළඳුණු පපුවේ මහන්සියක් නිසා විභාගයට යා නොහැකි විය. වෛද්‍ය පීඨය අහිමි විය. නැවත වරක් විභාගයට සූදානම් වන්නට සිදුවිය.

2015 වසරේ උසස් පෙළ විභාගයට තාරකයියා මුහුණ දුන්නේ ය. ප්‍රතිඵල වූයේ BBC ය. වෛද්‍ය පීඨය අහිමි විය. ඊයේ ඔහුගේ මව පැවසූ පරිදි, ඔහු නැවතත් විභාගයට සූදානම් වෙයි.

තාරකයියාගේ අනාගතය තීරණය කළේ ඔහුගේ මව්පියන් ය. ඕනෑ එකට මෙන්ම එපා එකටද ඇඟිලි ගසමින් තාරකයියාව විනාශ කළේ ඔහුගේ මව්පියන් ය. වෙනකක් තියා ඊළඟ සතියේ ටියුෂන් පන්තියේ උගන්වන පාඩම පවා ඔහුගේ මව දැන සිටියේය. මා කුමන ඒරොප්පෙක ටියුෂන් ගියාදැයි අපෙ අම්මා තවම දන්නේ නැත. වැඩිහිටියන්ට කන් දිය යුතුමය. නමුත් අදාළ තැන දී තම දරුවා ව තනි කිරීමට තරම් බුද්ධියක් දෙමාපියන්ට තිබිය යුතුය.

මා අද යම් මට්ටමකින් හෝ ඉංග්‍රීසි බසින් සන්නද්ධ වී ඇත්තේ ආනන්දයටවත්, ටියුෂන් පන්තියකටවත් පිං සිදුවන්නට නොව තාරකයියාගේ දෙමව්පියන්ට පිං සිදුවන්නට ය. මාව ගෙදරට ගෙන්වාගෙන, තමන් දන්නා ‘කඩු හරඹය’ ගුරු මුෂ්ටි නොතබා මට නොමිලේම ඉගැන්නුවේ ඔහුගේ තාත්තා ය. එසේ පැමිණි සෑම දිනකම මට තේ පැන් සංග්‍රහක් ලබා දුන්නේ ඔහුගේ අම්මා ය. මා විශ්ව විද්‍යාලයට තේරුණු බව දැනගත් විට “මේකෙන් සයන්ටිෆික් කැල් එකක් ගන්න” කියා රුපියල් දෙදහක් මට දුන්නේ ඔහුගේ තාත්තාය. ඒවා අමතක කිරීමට තරම් මම කුහක නොවෙමි. නමුත් වැරැද්ද වැරැද්දම ය. මා ඔවුන්ට දොස් කියන්නේ එබැවිණි.

උසස් පෙළ යනු මිනිසෙකුගේ ජීවිත ගමනේ හමුවන වැදගත්ම හන්දියයි. එහිදී තමන් හැරෙන පැත්ත තීරණය කරන එකම පාර්ශවය තමන් විය යුතුමය. ගල්-බොරළු අඩු සුමට පාරක ජීවින ගමනේ ඉතිරිය යෑමට නම් තමන්ට හොඳ බුද්ධියක් තිබිය යුතු බව හැබෑය. නමුත් ඊට තමන් හොඳ මනුස්සයෙකු වීම ද අනිවාර්ය බව වැටහුණේ පහුගිය වසර 3 තුළදී ඇසූ-දුටු දේ වලිනි. තාරකයියා නරක එකෙකු යැයි මා නොකියමි. නමුත් මා සතුව 2006 පටන් තිබූ මතකයක් කලින්ම උඩට ඇදගත්තේ තාරකයියා උසස් පෙළ අසාර්ථක වන හැම වතාවේ ම මට එය මතක්වන බැවිණි. (මේ පාරවත් ඌ මෙඩිසින් සිලෙක්ට් වේවා!)

මම නැවත කියමි. මොළේ තිබ්බට කමක් නෑ, හොඳ මනුස්සයෙක් වෙයං.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )