ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද විදුහල් පෙළට අත නොතබනු!

ආහ් මැඩම්…කාළෙකින් කට ඇරලා තියෙන්නෙ! තාමත් ඉස්සර වගේමයි නේද මැඩම්…? කට ඇරියොත් හුදී ජනතාව ලෝකයේ ප්‍රථම අගමැතිණිය සිහි කරනවා.

ඔව් මැඩම්…මේ ආනන්ද, නාලන්ද දෙකට නම් කෙළවන්නම ඕන. ඇයි විශාඛා, මහින්ද, ධර්මරාජ, මලියදේව අරක මේක…ඒවටත් කෙළවන්න ඕන. ඔයාට පහළ වෙන්නෙම මේ වගේ ශ්‍රේෂ්ඨ අදහස්මයි ඇන්ටි. මන්දා කොහෙන් එනවද කියලා මේ උතුං අදහස්. අනිවා ඩෙෆා අපි මේ රට තුළ හිම සොමි සඳරැස් ගලන, හිම කඳු මුදුන් දියවන, අහස් තාරුකා බිම පතිතවන, ග්ලැසියර් ඛාදනය වෙන, පෙන්ගුයින්ලා උද්දීපණය වන දයාව ප්‍රේමයෙන් පිරිපුං මෙව්වා එකක් හදන්ටම ඕන…හලිද? ඔයා ඔහෙන් පටන් ගන්න, අපි මෙහෙන් පටන් ගන්නං. හදාගෙන හදාගෙන යන්නයි තියෙන්නෙ ආ….?

මැඩම් ඔයා ඉස්සෙල්ලා මෙහෙම කරන්න. යන්න මරදානෙ සහිරා එකට. ගිහින් ඒකට සිංහල බෞද්ධ, කතෝලික, සහ හින්දු ළමයි දෙසිය පණහක් විතර ඇතුළු කරවලා පෙන්නන්න. ඊට පස්සෙ එහෙම්ම යමු කොළඹ 4 ලොරෙන්ස් රෝඩ් එකට. එතන තියෙනවා හින්දු කොලේජ් එක. ඒකට අපි ඔය ගමන්ම බෞද්ධ, කතෝලික සහ මුස්ලිම් ළමයි දෙතුන් සීයක් ඇතුළත් කරමු. ඊළඟට බත් ටිකක් කාලා ප්ලේන්ටියක් එහෙම ගහලා ඇඟට ෆිට් එකක් අරන් යන්න ඒ-නයින් එකේ යාපනේට. එහේ ඇති හින්දු කොලේජ් එකක්. ඒකට සිංහල බෞද්ධ, කතෝලික, මුස්ලිම් ළමයි තුන් හාර සීයක් ඇතුළත් කරන්න. එහෙම්මම ජීප් එක හරවගෙන සීයට පාගන්න ත්‍රිකුණාමල, මඩකළපු දිස්ත්‍රික්ක වලට. ඒවයේ තියෙනවා තද තද ඉස්කෝල හතු පිපෙන්නා වගේ බිහිවෙලා. ඒවට සිංහල බෞද්ධ ළමයි, ක්‍රිස්තියානි කතෝලික ළමයි, හින්දු ළමයි දෙතුන් සීය ගාණෙ වත් ඇතුළු කරන්න.

කරලා ඉවරවෙලා, කෝල් එකක් දීලා, ඔයා කෙළී…ඊ…ඊ…න්ම එන්න කොළඹට. ආනන්දෙ, නාලන්දෙ ළමයි එක්ක අපි ඉන්නවා පෑලියගොඩ පාලම උඩ ඔයා එක්කම ගිහින් ඔයාගෙ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවන්න.

මැඩම්…මේ රටේ ආගමික විකාර වත්, ජාතික අනුරූප වලටවත් නතු වෙච්ච පාසැල් නොපැවතිය යුතුය කියන මතයේ ඉන්න කෙනෙක් මේ ලියුම්කාරයා. කොටින්ම කිව්වොත් ලියුම්කාරයා කිසිම ආගමක් විශ්වාස නොකරන, නො-අදහන, හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියන මතයේ ඉන්න කෙනෙක්. අපිට ඔය කිසිදේකින් පාන් නෑ. ඔයා ඔය කියපු ඉස්කෝල ටික අප්‍රිකාවෙන් ළමයි ගෙනත් පිරෙව්වත් අපිට ඒ හැටි ගාණක් නෑ.

ඒ උනත් මැඩම්, මොකද මේ සිංහල බෞද්ධ ඉස්කෝල ටිකට විතරක් අමුතු කෙළිල්ලක් කෙළින්න හදන්නෙ? ඔය ඉස්කෝල වලින් බිහිවෙන අන්තවාදයට වඩා කිහිප ගුණයක් දරුණු අන්තවාදයක් සහිත ආගමික සහ ජන වාර්ගික පදනමේ තියෙන පාසැල් ඔයා දැකලා නැද්ද? ක්‍රිස්තියානි, කතෝලික හෝ ඉස්ලාම් පල්ලි වල ඩැහි අඬුවේ ග්‍රහණයේ පවතින පාසැල් ඔයා දැකලා නැද්ද? සිංහල බෞද්ධයො ළඟ විතරද අන්තවාදය තියෙන්නෙ? ඔය ආනන්ද, නාලන්ද වලින් බිහිවෙච්ච ආදි සිසුන් දැන් ලෝකයේ රටවල් කීයක අන්තවාදීන් ලෙස තහනමට ලක්වෙලා ඉන්නවද? ඔවුන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් ඔවුන් ටිකක් කෑ ගහනවා තමයි…නමුත් ඔයා ඕකම ඇදලා අරගෙන කියන්න තරම් හානියක් ඔවුන්ගෙන් වෙලා නෑ. ඔයිට වඩා අර්බුද ඔයා දකින්නෙ නැද්ද? 12 – 14 වැනි සියවසේ යල්පැනගිය, ගල්යුගයට ගැළපෙන අදහස් මේ රටේ වපුරන පාසැල් බිහිවෙනවා ඔයා දකින්නෙ නැද්ද…?

මැඩම් මගේ අම්මා මට ඉස්සර කියලා දෙනවා ක්‍රිස්තියානි භක්තිවන්තියක වූ ඇය ගිය පල්ලියේ පාසැලට වෙනත් කණිෂ්ඨ විද්‍යාලයක් වසා දැමීම නිසා ඇතුළත් කරපු බෞද්ධ දැරියන්ට ඒ පාසැලේ ඊනියා “දේවගැති සොයුරියන්” සළකපු ආකාරය…මගේ බෞද්ධ පියා මට කියලා දෙනවා මාස අටකට කතෝලික පල්ලියේ පාසැලකට ගිය බෞද්ධ දරුවෙකු වූ ඔහුට ඒ පාසැලෙන් ලැබිච්ච සැළකිල්ල, ආගම වෙනස් කරන්න කියලා වහෙන් ඔරෝ ආපු බලපෑම…

මැඩම් නරකයි නම් කොයි නරකත් නරකයි. බෞද්ධ නරක විතරක් නරක වෙද්දි, අනිත් ආගම් වල, අනිත් ජන වර්ග වල නරක විතරක් “හොඳ නරකක්” හෝ “අවිහිංසක නරකක්” වෙන්න බෑ. ඔයා මේ රට ආගම්වාදෙයෙන්, වර්ගවාදයෙන් තොර රටක් කරන්න හිතනවා නම් බෞද්ධ ගෝත්‍රවාදයට, ආගම්වාදයට කටුව ගහන්න කල්පනා කරාට මදි. ”ආනන්ද, නාලන්ද” කියද්දි ඔයාට “සහිරා, බෙනඩික්ට්, හින්දු කොලේජ්” මතක් නොවෙන්නේ ඇයි? ඔයාගෙ තියෙන්නෙ වෙන ලයින් එකක් කියලා අපිට හිතෙන්නෙ ඇයි මැඩම්…?

මැඩම්….මම ඉගෙන ගත්තෙ යුරෝපා මිෂනාරි හදපු පාසැල් දෙකක. එයින් දෙවනි එක තමයි මගේ හදවතට සමීපම. පළවෙනි එකේ හිටියෙ කෙටි කාළයයි. අපිට අනුව නම් ඔය ආනන්ද, නාලන්ද වග්ගය ගාල්ලේ නියෝජනය කරන ගාල්ල මහින්ද විදුහල පසමිතුරු පාසැලක්. ඔවුන් අපේ සාම්ප්‍රදායික, පාරම්පරික විරුද්ධවාදී පාසැල. මහා ක්‍රිකට් ගැටුම තියෙන්නෙත් ඔවුන් සමග. පසමිතුරු කියන එකේ පූර්ණාර්ථය “සතුරු” කියන එක නෙමෙයි… නමුත් ඔවුන් සහ අප අතර ඇත්තේ ඇයි හොඳැයියකට වඩා තරඟයක් හෝ ගැටුමක්.

ඒ උනත්, අපි මහින්ද විදුහලේ සහෝදරයන් සමග එකට සෙට් වෙන්න කැමතියි රඹංකිචිද මහා විද්‍යාලයේ අයට වඩා. ඒ ඇයි කිව්වොත් මහින්දීයයන් කවුද කියලා අපි දන්නවා. රිච්මන්ඩ්ඩයිටෝ කවුද කියලා ඔවුන් දන්නවා. අපි දෙගොල්ලන්ටම මේ රටේ ඉහළින් පිළිගැනෙන කොලිටියක් තියෙනවා. ඒ කොලිටියට-කොලිටිය පෑහෙනවා ඕනම තැනකදි. අපෙන් බහුතරය බෝක්කු පදින හිපාටුවෝ වෙන්නෙ නෑ. අපෙන් අති බහුතරය උගත් වෘත්තිකයන්, නැත්නම් නිපුණත්වයෙන් යුතු ධනවත් ව්‍යාපාරිකයන් වෙනවා. සිවිල් සමාජයේ බළයක් සහ පිළිගැනීමක් තියෙන මිනිස්සු වෙනවා. මහින්දෙ අයත් බහුතරය එහෙමයි. අපේ මේ කොලිටිය, ඔවුන්ගේ ඒ කොලිටියට පෑහෙනවා. ඒක තමයි අදටත් රිච්මන්ඩ් – මහින්ද මැච් එක ඉවර උනාම අපි කවුරු කවුරුත් කොඩි බිමට බාලා, හොඳ හෝටලේක අතීතාවර්ජනයට සෙට් වෙන්නෙ…එතෙන්දි “මචන් උඹට මතකද උඹලගේ ස්කවුට්ස්ලයි, අපේ ස්කවුට්ස්ලයි එකතු වෙලා අර මහළු නිවාසෙ හැදුව එක?” වගේ තැනකින් පටන් ගැනෙනවා… අපි දෙගොල්ලන්ටම වංශ කථාවන් තියෙනවා.

මැඩම් අපිට කොලිටියක් තියෙනවා. ඒක විස්තර කරන්න කියන්න එපා. ඒක අපිට අපේ පාසැලෙන් මේ ඊනියා නිදහස් අධ්‍යාපනයට අමතරව දෙන දෙයක්. සම්ප්‍රේෂණය කරන දෙයක්. ඔයාට ඒක නොදැනෙනවා කියන්න බෑ. මොකද ඔයා මේ රටේ විතරක් නෙමෙයි. මේ ලෝකෙම කීර්තියක් උසුළන අග්‍ර ගණ්‍ය කාන්තා විදුහලක ආදි සිසුවියක් නිසා. ඒකෙන් එන සිසුවියන්ට එන්නත් කරන කොලිටිය වගේම ඒ පාසැලට අනන්‍ය වෙච්ච කොලිටි එන්නත් කරනු ලබන අනිත් පාසැල් තියෙනවා.

සෑම පාසැලකම ගුණය, ඒ පාසැලේ “කම සහ නම” බිහිවෙන්නේ ඒකෙ අනන්‍යතාවයෙන් මැඩම්. ඒ පාසැල් වලට දරුවෝ දාගන්න දෙමාපියෝ පොරකන්නේ අන්න ඒ “කම සහ නම” නිසා. නැත්තන් ඉතින් ඔය උගන්නන සිලබස් ටික ඔහොම්මම උගන්නවා ඇතිනේ රඹකිඳ රඹංකිචිද මහා විද්‍යාලයෙත්!

ඒ කොලිටියට ගහන්න, ඒ කොලිටිය නැති කරන්න ඔයාගේ බලයත් මදි මැඩම්. එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නෙ.

ආනන්ද විදුහල, ආනන්ද විදුහල වෙන්නෙ ඒකෙ සිසු දරුවන්ට ලැබෙන අන්න ඒ සම්ප්‍රේෂිත කොලිටිය නිසා, ඒ අය සදහටම ආනන්දීයයො! රාජකීයයන් රාජකීයයන් වෙන්නෙ ඔවුන්ට ලැබෙන සම්ප්‍රේෂිත කොලිටිය නිසා, ඒ අය සදහටම රාජකීයයො. ශාන්ත පීතරයිටයන් එසේ වන්නේ ඔවුන්ගේ කොලිටිය නිසා, ට්‍රිනිටියානුවන් එසේ වන්නෙ ඔවුන්ගේ කොලිටිය නිසා, රිච්මන්ඩයිටන් එසේ වන්නේ ඔවුන්ගේ කොලිටිය නිසා, මහින්දීයයන්, මලියදේවයන්, එසේ වන්නේ ඔවුන්ගේ කොලිටිය නිසා….ඒ කොලිටිය හැදෙන්නෙ ඒ ඒ පාසැලේ වංශ කථාවට වෙන් කළ නොහැකි ලෙස බද්ධ වූ ඔවුන්ගේම අනන්‍යතාවය නිසා. ආනන්ද, නාලන්ද අනන්‍යතාවය සිංහල බෞද්ධ අනන්‍යතාවය. ඒකෙන් තමයි ඒ අයගේ වංශ කථාවේ කොලිටිය නිර්මාණය වෙන්නෙ. ඔයා කොහොමද මැඩම් එහෙම හිතෙන හිතෙන දේවල් කරන්නෙ? ඔයාට බකිංහැම් මාළිගයට තේ එකක් බොන්න කථා කළොත් රස්තා ස්ටයිල් එකට ඇඳගෙන, ගංජා මලක් ඇදගෙන යන්නෙ නෑනෙ? මේ ඉස්කෝල වලින් බිහිවෙන හැම කෙනෙක්ම මේ කොළිටියට අනුව ජීවත් වෙනවා කියනවා නෙමෙයි. ඔවුන් කනකොට, බොනකොට, වැසිකිළි ගිහින් අධෝ මාර්ගය හෝදනකොටත් තුන් දොරින්ම ඒ කොලිටිය මෙණෙහි කරනවා කියනවා නෙමෙයි. ඒත් ඔවුන්ගේ බහුතරයක්ගේ ජීවිත වල ඒ හෙවණැල්ල ඔවුන් සමග යනවා. ඒක ඔවුන් ඇසුරු කරන කොට ඔබට පේනවා.

අපේ පාසැල හෙවත් ගාල්ල රිච්මන්ඩ් මාතාවගේ අනන්‍යතාවයට හානිකර යමක් කරන්න කවුරු හරි අත තියනවා නම් අපි ඒ අයට කෙළින්ම කියන්න සූදානම් “හෙහ්….අත තියලම බලන්ඩකො…..ආයෙ යසට තිබ්බ අත කෝ අනේ? කියාගෙන එන්න එපා” කියලා.

ආනන්දීයයන්, නාලන්දීයයන්, මහින්දීයයන් ඒ වගෙම තමයි.

මේ පාසැල් තමයි ගිලා බහින අධ්‍යාපනයක් සහිත රටක් මෙහෙමවත් උස්සගෙන ඉන්නෙ.

ඔයාට සඳ මෝදුවෙන, හිරු දිදුළන, කං කඩා වැටෙන, එවරස්ට් පාවෙන, නයිල් නදිය රැළි නඟන, ලොව සොමිබර මානව හිතවාදයක් හදන්න ඕන නම් අපි ඒක කරමු මැඩම්… හැබැයි අර කළින් කියපු ඒවා කරලා එන්න. ආනන්ද නාලන්ද කොල්ලො දෙයි ෆුල් සපෝට් එක එතකොට.

දැන් මේක කියවන අය “මේ වංශ කථාවල් කියන්නෙ බොරු දේවල්, පාසැල් වලට මොන අනන්‍යතාවයද යකෝ” වගේ බහුබූත නම් කියාගෙන එන්න එපා. ඔහොම කියන උඹලම තමයි තමන්ට හෝ අහවලාට “ක්‍රේම්බ්‍රිජ් එකෙන් ඩොක්ටරේට් එක තියෙන්නෙ, ඔක්ෆර්ඩ් එකෙන් පෝස්ට්ග්‍රැඩ් එක තියෙන්නෙ, හාවඩ් වල මාස්ටර්ස් කරන්නෙ, යේල් වල ඩිග්‍රිය ගත්තේ, එම්.අයි.ටී වල ෆෙලෝෂිප් එක තියෙන්නෙ” වගේ පාරම් බාන්නෙ. ඉස්කෝල කියන්නෙ නිකම්ම නිකන් අධ්‍යාපන ආයතන විතරක් නම්, ඒ කියපු විශ්ව විද්‍යාල ආයතනත් එහෙම තමයි ඈ….? මේවයෙ කොලිටියක් නැත්තන් ඒවටත් තියෙන්නෙ කොහොමද වංශ කථාවක්! අපේ රටේ හැටියට ලොකු කථාවක් කියන්න තියෙන ඉස්කෝල තමයි, ආනන්ද, නාලන්ද, රාජකීය, ශාන්ත තෝමස්, රිච්මන්ඩ්, මහින්ද, ධර්මරාජ, කිංග්ස්වුඩ්, මලියදේව, රාහුල, සීවලී, තර්ස්ටන්, ඩී.එස්, ඉසිපතන, එහෙම කියන්නෙත්.

ඒවයේ අනන්‍යතාවයට හානිකර දේවල් ඒවාට කරන්න කියලා යෝජනා කරනකොට ඒ වංශ කථාව ඇසුරේ ගොඩනැගෙන කොලිටිය ලබමින්, ඒ පාසැල් මාතාවගේ උණුහුම ලබපු අයට යකා වැහෙනවා තමා. ඒක නැති කරන්න ලොවෙත් බෑ.

ඒක එහෙම තමයි.

(වංශ කථාවක් සහ ආඩම්බරයක් බද්ධ වූ අනන්‍යතාවයක් සහිත සියළු පාසැල්වල ආදි සිසු සිසුවියන් වෙනුවෙනි.)

ප්‍රභවය: ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මහින්ද විදුහල් පෙළට අත නොතබනු…!

Advertisements