ලිවීමේ පරම යුතුකම උදෙසා ලියමි

පිය සටහන්
මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පියනගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබට ගැයූ ගී
ඇසේ ද තවමත්
ඇලේ දොලේ ගලනා ගීයේ

පිය සටහන්
මැකී නොමැත තව

රළු බොරලු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නොදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්

පිය සටහන්
මැකී නොමැත තව

ගී පද – සුනිල් ආර්. ගමගේ
සංගීතය, ගායනය – කපුගේ

මේ දවස්වල ලියන්න තියා සිංදුවක් අහන්නවත් වෙලාවක් නෑ. පැලෙන්න වැඩ. එහෙමයි කියල සිංදු අහන්නැතුව ඉන්න යැ! ඉතිං අහනවා. මේ දවස්වල ආසම එක මේක. ඒකට හේතු දෙකක් විතර තියෙනවා.

ආසන්නම හේතුව: ඇලිස්නෝනා සිරිබද්ධනගේ මහත්මිය (කපුගේගෙ මව) ගෙ මරණය. අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙන්න බැරි වුණත් කලින් දවසෙ නයිට ගැහුවා. ගොඩක් මිනිස්සු මතක් කලේ තාත්තා කෙනෙකුත් නැතුව ළමයි අටදෙනෙක් හදන්න ඒ අම්මා විඳපු දුක තමයි. ටිකක් එලිවෙන ජාමෙ වෙද්දි නං කට්ටිය කියව කියව හිටියෙ කපුගේ ගැනයි කලබල කාලෙ වෙච්ච කරදර ගැනයි. ඒක වෙනම කතාවක්.

අවාසනාවකට වෙන්නැති මට නං කපුගේ ගැන පුද්ගලික අත්දැකීම් නෑ. මේ සිංදුව මුලින්ම කනේ වැදුනෙ කපුගේට හැත්තෑවයි හෙවත් ප්‍රථම ප්‍රකම්පන ප්‍රසංගයට සහභාගි වුණු වෙලේ. මම කපුගේ ගැන මෙච්චර ඔබ්සෙස්ඩ් වෙලා තියෙන්නෙ විශාරද ඔවින් කපුගේ නිසාම කියන්නත් අමාරුයි. ඒත් කපුගේ ගැන ගොඩක් විස්තර නං දැනගන්නෙ උගෙන් තමයි.

දෙවනි හේතුව යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව නම් වූ මහා භයානක විෂය ක්‍ෂේත්‍රය. පණ්ඩිතයා වගේ තෝරගත්තට මොකෝ දැන් නං තුනටියත් රිදෙනවා. ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ කියලා කපුගේත් කිව්වා. ඒත් තාමත් ලස්සන කෝඩ් කෑල්ලක් දැක්කම බඩේ සමනල්ලු පියාඹන්නෙ ආයාසෙකින් නෙවෙයි. “තෝ දැං ඕවා බලලා බම්බු ගහන්න ද! කෝස් වර්ක් එකක් කරන් හිටපං,” ඒ උඩුහිත. ඒ කතාවෙත් වැරැද්දක් නෑ.

මං ආස කරපු පාට හීන ගොඩක් මට නැතිවුණේ මට වඩා සිටුවේශනලි පවර්ෆුල් උං මාව අතික්‍රමණය කරපු නිසා. ඒකට නං මගේ තුන්හිතකවත් කහටක් නෑ. ඒත් ටිකක් කල් යද්දි උං මගේ ඒ හීන අතඇරලා දාද්දි නං මට ඌරු ජුවල් (මෙය අවුට් ඔෆ් කන්ටෙක්ස්ට් තේරුම්ගෙන ප්‍රශ්න ඇසීමට ගොස් අමනාප නොවන්න. එක්කො අමනාප වන්න; එතකොට ලේසියි). උන්ට එහෙම කරන්න කිසිම අයිතියක් නෑ; හරියට නිකං මේ උපාධිය අතඅරින්න මට කිසිම අයිතියක් නෑ වගේ. අපි හැමෝම විඳින්නෙ ගොඩක් උන්ට අකැප ජීවිත. මොකද මේක කියවනවා කියන්නෙ උඹට අඩුගානෙ සිංහල අකුරු හරි කියවගන්න පුළුවන්. අපි තාමත් ඉන්නෙ කන්න නැති නිසා දවසට වේල් දෙකක් විතරක් කන මිනිස්සු ජීවත්වෙන රටක. මේවා සුරංගනා කතා නෙවෙයි. ඒ නිසා මේ දවස්වල ලව් වට් යූ ගෙට් කියාගෙන ශේප් එකේ තහඩුවක් නවාගෙන ඉන්නවා.

කතාව ඒක නෙවෙයි. කතාව පිය සටහන්.

තාත්තා ඉස්සර රෑ එළි වෙනකං හැන්ඩ් ලයිට් එකත් එල්ලගෙන වාහන කබලක බඩ බොකු එළියට අදිද්දි මං හැමතිස්සෙම කිව්වෙ “හපෝ මටනං බෑ මේ වගේ මජං හූරන්න, මං කම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්නෙ” කියලා. එහෙම කියද්දි තාත්තත් “හරියට හරි! ඔයා කැමති දේ තමයි තරන්න ඕන” කිව්වා මිසක් මගේ කට කැඩිච්ච කතාවට වචනයක්වත් කිව්වෙ නෑ. අද මම වාහන වල ඩිෆරන්ෂල් ගැන යූටියුබ් එකේ හොයද්දි තාත්තා අහන්නෙ “ෂහ්. ඕවත් තියනවද ඕගොල්ලන්ට? ලේත් මැෂින් එහෙම කීයක් විතර තියෙනවද එහෙ?” කියලා. එයා බොක්කෙන්ම තැමතියි මම කම්පියුටර් සයන්ස් නොගිහිං මිකැනිකල් ආපු එකට. පොඩි සතුටක් එනවා ඇති මං කරන දේවල්ම දශමයක් හරි හොඳට මූ කරයි කියලා. පිය සටහන් ගීතය කතාවෙ සෙටිං එක කළේ ඒ නිසා.

තාත්තා ළඟ ආනන්දෙට පුදුම ආදරයක් තියෙන්නෙ. මම එහෙ ගිය දවසෙ ඉඳන් ඒක දෙගුණ වුණා. වෙලාවකට ඒක අන්ධ භක්තියක්. ඒ කැමැත්ත මං වැඩිය අගය කළේ නෑ. ඒ මම කුහකයෙක් නිසා නෙවෙයි, ආනන්දෙ හොඳ වගේම ඒකෙ ඉන්න උන්ගෙ හොඳත් විස්තර ඇතුව දැනගෙන හිටි නිසා.

ඒ කොහොම වුණත් මේ අවුරුද්දෙ ප්‍රයිස් ගිවිං එකට එන්න කියලා ගෙදරට ලියුම ආපු වෙලේ අම්මා ඇහුවෙ “දෙමව්පියොන්ගෙන් එක්කෙනාටයි ද ඉස්කෝලෙට එන්න පුළුවන්?” කියලා. මොකද ආනන්ද විහාරය ඉස්සරහට යන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන් කියලා අම්මා දන්නවා. කොහොමහරි අන්තිමට තාත්තට විතරයි එන්න පුළුවන් වුණේ.

උත්සවෙත් ඉවර වෙච්චි. කුළරත්න හෝල් එකෙන් එළියට බැස්ස වෙලේ ඉඳන් අපේ උං සෙල්ෆි ගන්න දඟලනවා. දෙයියන්ගෙ පිහිටෙන් මට ඔය පිස්සුව නෑ. තාත්තත් ඒක දන්නවා, හැබැයි නිකං නක්කලේට වගේ ඇහුවා “ඇයි ඔයා අර ෆොටෝ වලට එබෙන්නෙ නැද්ද?” කියලා. මාත් නිකං හිනාවෙලා හිටියා. එවෙලෙ තමයි උත්සව ඡායාරූපකරණයේ කෙල/සොටු/කඳුළු සේරම පැමිණි කිසල් රන්දුල සේනාධීර ඉන්නවා දැක්කෙ. මොන සෙල්ෆි ද! ගහනවා කන පැලෙන්න ෆුල් අන්දොස් ඔෆීෂියල් ෆොටෝ එකක්. තාත්තට කිව්වා එන්න යන්න ෆොටෝ එකක් ගහන්න කියලා. පස්සෙ බැලින්නං තාත්තටත් උවමනාව තිබිලා තියෙනවා ෆෝන් එකෙන් හරි ෆොටෝ එකක් ගහන්න, කිව්වෙ නැති වුණාට.

img_0234
ගහපු මුල් ෆොටෝ එක. දැක්කම හිනාත් යනවා දැං.

මේ වෙද්දි මගේ ළඟ තියෙන වටිනම ෆොටෝ එක මේක වෙන්නැති. පාසල් නිළ ඇඳුම ඇන්ද අන්තිම දවස, දෙමව්පියන්ව පාසලට ආරාධනා කරන අන්තිම දවස, බොහෝ විට මේ ගානට කොණ්ඩෙ තියෙන අන්තිම දවස වගේ අවසාන මොහොතවල් ගොඩක් මේක අස්සෙ හිරවෙලා තියනවා. පුළුවන් උනොත් පස්සෙ කාලෙක රාමු කරගන්නවා.

නැතිවුණු දේවල් මතක් කරලා අඬන්න, වෛර කරන්න ලේසියි. ඒත් ඒ දේවල් එක්ක දිනපතා ගනුදෙනු කර කර ජීවත්වෙන්න පට්ට අමාරුයි. මට කොහොමත් පොඩි කාලෙ ඉඳන් ලේසි දේ කරලා පුරුදු නෑ; ඒකනෙ මිකැනිකල් තෝරගත්තෙ. අනික් අතට, අපි කැමති විදියට හැමදේම සිද්ධවුණා නං ජීවිතේ කොච්චර ප්‍රෙඩික්ටබල්/කම්මැලි එකක් වෙන්න තිබ්බද? එහෙම බැලුවොත් නං දෙයියන්ට පිං සිද්ධවෙන්න පුදුමාකාර ඉන්ටරෙස්ටිං ජීවිතයක් මට තියෙන්නෙ.

කාලෙකින් මෙහෙම ලිව්වෙ. කියන්න ඕන වෙච්චි එක නෙවෙයිද මන්දා කිව්වෙ. කොහොමත් රෑ එක, දෙක වෙනකං ලියන්න දෙයක් ඔලුවට එන්නෙ නෑ. දැන් නං ඇති වගේ. ලියපං ලියපං ලියපං ලියපං ලියපං කියලා වද දීපු උන්ට පිං. ජෙයින් ජෙයිම වීවා!

Advertisements

පිය සටහන්” මත එක් සිතිවිල්ලක්

  1. මේ පිංතූරේ දැක්ක දවසෙ ඉදන් මට දෙයක් කියන්න ඕනෙ වෙල තිබ්බෙ.මං දන්නෙ නෑ මට දැනෙන දේ හරියටම කියන්න. උබ ජීවිතේ ලොකුම ලොකු පිම්මක් පැන්පු සතුට මට උබෙ මූනෙ වගේම තාත්තගෙ මූනෙත් පේනවා. ජීවිතේ වැඩිපුරම සතුටින් ඉන්නෙ පට්ටටම දුක් විදපු උන් කියන එක මම එදත් අදත් අදහනවා.අත් දකිනවා. බලමු. දවක අපි හැමොටම ඉර පායවි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )